Monday, September 29, 2014

බොර දියේ මාළුවෙකු සිටීම...

ගලකින් පට්ටයක් ගන්න
පට්ට අමාරු සේම
විවිධ වූ කාර්යයන් කිරීමේදී
එය සාර්ථක කර ගැනීම
මහත් අසීරු කටයුත්තක් වන බව
ඔබ මම සියලු දෙනාම
දන්නා වූ ප්‍රතිඵලයකි...
උත්සහවන්තයා ජය ගන්නවා යැයි
රුවන් වැකියක් ගොඩ නැගී තිබුනද,
එය එසේ වුවත්
සැබවින්ම එය එසේම වනවාද යන්න
පිළිබද සැකයක් මතුවේ...
එසේ සැකයක් මතු වුවත්
එය බොර දියේ මාළු බෑමක් සේ නොසිතා
උත්සාහය අතහැර පසු නොබසීමට
අප ඉටා ගත යුත්තේ
අවසානයේදී අප උත්සාහ වුවා යන
සතුට හෝ අපගේ සිත තුල රජ කරවීමට හැකි බැවිනි,
එසේ සිත තුල සතුට රජයන විට
බොර දියේ වුවද මාළුවෙකු සිටීම
අහබුවක් නොවෙනු ඇත...
උත්සාහයේ මල් ඵල
දෝතින් පිළිගැනීමට නොහැකි වී සිටින විටදී,
සමාජයේ කුහකකම් හමුවේ
අඩන්න සුදානම් වූ අපේ නෙත
බලා සිටිනුයේ
තවකෙකු පැමිණ ඇගිල්ලෙන් අනින තුරුය...
එසේ බලා සිටිනා විට,
තවකෙකු පැමිණ ඇසට ඇගිල්ලෙන් එන්නත්
අඩන්න තරම් වත් වූ
කදුළු පොදක් අප නෙත සතු නොවෙනුයේ
පෙර අතීතයේ දවසක
උත්සහවන්තයා ජය නොගත් දිනයක
ගලා ගිය කදුළු
අති මහත් වූ බැවිනි..



උත්සහවන්තයා ජය නොගැනීමේ
කොළ එලිය දැල්වුණු දින
දෙසවන ලත් දෝංකාරය,
වර්තමානයේ අපේ පැතුමන්
බොද වීමේ රතු එලිය දෙල්වෙන විට
නැවත නැවතත් අපේ දෙසවන
පෙර දෝංකාරය රජයන විට
සිතේ හටගත් අධිෂ්ඨානයන්
මෙන්ම බලාපොරොත්තුද අපේ සිතින් ඈත් වනුයේ
අපේ සිතටත් නොහැගෙන පරිදිනි...
එසේ වුවත්
අපගේ සාර්ථකත්වයේ මුදුන්මුල
උත්සාහය වන හෙයින්
අප කොතෙක් වැටුනත්
නැවතත් උත්සාහයේ මල් ඵල නෙලා ගැනීමට
වෙර දැරිය යුත්තේ
කෙදිනක හෝ,
අපේ ඉලක්කය සමාජයේ ඉහලම තැනක
රැදවීමට සිතා අති හෙයිනි...

"උත්සාහයේ මල් ඵල නෙලා ගැනීමට අපට හැකි වනුයේ, උත්සහවන්තයා ජය ගැනීම යන දෙස බලා නොසිට උත්සාහය යන අධිටන අපේ සිතේ මෙන්ම ගතේද, ගතේ මෙන්ම අපගේ ක්‍රියාවන් හීද හංවඩු ගසා ගත් විටදීය" 

Tuesday, September 23, 2014

බලලා ඉවර නම් අපිත් දෙමු..

නිල් අහසේ සොදුරු බව
දකින විට අපේ නෙත,
අහස් ගැබ සිසාරා
සියොත් කල තටු ගසා
ඉගිලෙනු දුටු විට
ආත්මීය ප්‍රීතියෙන්
අපේ සිත
උදම් වුවා මතකද??
හරිත වන නිල් උයන්
දකින විට අපේ නෙත,
නිල් උයන් තුල සුපිපි
පුෂ්පයන් දකින විට
සිසිලසේ නිම් තෙර
අපේ ගත දැවටුණා මතකද??
කදු සිසාරා
ගලා බසිනා නිල් වන් රැලි පේලි
දකින විට අපේ නෙත,
ඇද හැලෙන දිය වැල්හි
නේත්‍රා දුෂ්ටියෙන්
ගත සිත පහන් වුවා මතකද??
එවන් වූ මතකයන්
අප සිතේ ලැගුම් ගන්නා කල,
උපන් දා සිට
නේත්‍රා දුෂ්ටියේ පහස නොලද්
අපේම සහෝදරයන්
කොතෙකුත් සිටීද...
එහෙයින්,
අපේ භාවිතයෙන් පසු
අපේම ආදරණීයන් වෙනුවෙන්,
ඔවුන් නොදුටු
අප දිටු දේ
ඔහුන්ටත් දැක බලා ගැනීමට
අපේ සහයත්
ඔවුනට ලබා දෙමු...



මනුෂ්‍යයන් වශයෙන් තවත් යම් හෙයෙකින් අසරණ වූ මනුෂයෙකු හට උපකාර කිරීම මැරී ඉපදෙන කෙළවරක් නොමැති සංසාරයේ පිය මනින අපේ යුතුකමයි. ඒ සදහා අපිත් නොපැකිලි වූ සිතින් යුතුව කාරුණිකව දායක වෙමු..

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."


දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.
        
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත,
කොළඹ 07.
        
  • ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
         011- 2 698 040
         011- 2 698 041
         011- 2 698 043 
         011- 2 692 051

උපදෙස්
  • කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
  • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
  • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
  • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
  • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමට පහසුවක්වේ.
  • ඕනෑම දිනක  දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
  • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
  • පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
  • සම්පූර්ණ දේහය ලබා  දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
  • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.

Monday, September 22, 2014

ශක්තියක් වූ ඔහු...

ඔහු දැවැන්තයෙකු නොවීය..
එහෙත්, ඔහුට කල හැකි උපරිමය
තම දරුවන් වෙනුවෙන් කළේය..
මුදල් පාදක වූ සමාජයක් තුල
මුදලේ ලුහුඩු බව
තම දරුවන්ට
දැනීමට ඉඩ නොදුන්නේය..
සමාජය...,,
ඔහුගේ ඔලුවට අත සෝදන කල
තම දරුවන් වෙනුවෙන්
එය ඉවසුවේය..
සමාජයේ ඇති අභියෝග
ජය ගැනීමට
තමන් ආ මාර්ගය,
එනම් "පොඩි තැන සිට නැගීටීම"
යන වචන පෙළ
තම දරුවන් අතර බෙදා දුන්නේය...
තම දරුවන්ගේ සිත් වල ඇති ආශාවන්
ඉටු කිරීමට,
තමන්ගේ ශ්‍රමය හැකි උපරිමයෙන්
සමාජයට ලබා දුන්නේය..
සමාජයේ සාර්ථකත්වය වෙනුවෙන්,
මිනිසුන්ගේ අභිවුර්ධිය වෙනුවෙන් පෙනී සිටි ඔහුට
අවසානයේදී..
ඒ මිනිසුන්ගෙන්ම අවමානයන් ලැබුනේය...
තම ආශාවවන්, තම දරුවන්ගේ
සාර්ථකත්වය වෙනුවෙන් කැප කල ඔහු,
තවමත් තමනට යැයි දෙයක් කර ගෙන නොමැත..
සැබවින්ම ඔහු,
සමාජය තුල මහා දැවැන්තයෙකු ලෙස
සමාජය විසින් හංවඩු නොගැසුවත්
ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
දැවැන්තයෙකු වන්නේය...
ඔහුගේ සවිය ගත් ඔහුගේම දරුවන් දැන්
සාර්ථකත්වය ලගා කර ගෙන ඇත.
ඔහු දරු උත්සාහයේ මල්ඵල
දැන් ඔහු සතුව ඇත..
සැබවින්ම ඔහු සාර්ථකත්වය තුල
ශේෂ්ටයෙකි...
අපගේ සාර්ථකත්වය
අපට ලබා ගැනීමට
ඔහු දුන් ඒ අත්වැල
අගය කිරීමට
මෙවන් වූ බ්ලොග් සටහනක්
ප්‍රමාණවත් නොවුවත්,
ඔහු අපට ලබා දුන්
ශක්තිය වෙනුවෙන්
ලබා දෙන කුඩා උපහාරයකි...




යම් තැනක මා
ශක්තියෙන් දුර්වල වන විට
ඔහුගේ ශක්තිය මට ලැබුනේය..
යම් තැනක මගේ
සාර්ථකත්වය අඩුවන විට
ඔහුගේ සාර්ථකත්වය මට ලැබුනේය..
ඔහුට හැකි පමණින්
මට ලබා දුන් ඒ දායාද වනුවෙන්
ඒ දායාද වලට සමාන කිරීමට
මට කල හැකි දෙයක් නොවුවත්
ඔහු වෙනුවෙන් කල හැකි
උපරිමය මට හැකි අයුරින් කරමි..
ඔහු එදා විදි දුක් වලට
යම් දිනක ඔහු සිංහාසනයක හිදුවමි..
ඒ අයුරින්, සෑම දිනම
මගේ සාර්ථකත්වය වෙනුවෙන්
ශක්තියක් වුනු ඔහු..
මගේම ආදරණීය අප්පච්චීය..




















ඩෙරෙක් රෙද්මොන්ඩ් ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහුගේ පියා ඔහුට ශක්තියක් වූවා සේම, මටද මගේ අප්පච්චි ශක්තියක් විය.. ඔහු ලබා දුන් සෙනෙහස කිසි දිනක නොමැකෙන අයුරින් මගේ සිතේ සටහන් වී ඇත.. එය මට සේම, ඔබේ දියුණුවටත් ශක්තියක් වූ ඔබගේ පියා, ආදරණීය බවේ සැබෑ අරුත වන්නේය. 

Friday, September 19, 2014

පාරිශුද්ධ මනුෂ්‍යත්වය..

සිතක පාරිශුද්ධ බව
සමාජයට වසන් වන කල්හි
සමාජයේ පවතනින
අසම්මත ක්‍රියාකාරකම්
පාරිශුද්ධ බවේ
පරිනත බව
සමාජය තුලදීම
තලා පෙලා දැමීමට
සමත්වන්නේය...
අනුන් ගැන නොසිතන්නන්
තමන්ගේ කාර්යයන්
ගැන සිතමින්
දිවි ගෙවන්නේ
තමා පමණක්
ලොව තුල ජීවත් වන බව
ලොවට හගවමිනි...
එසේ වන කලිහි
සමාජයේ ජීවත් වන
පරමාර්තකමි
අසරණ පුද්ගලයා
සමාජය තුල අන්ත අසරණ වනුයේ
සමාජයේ පවතින
අත්මාර්තකමී බවේ වදන
සමාජය තුල
සටහන් කරවමිනි...
අසරණ බවින් පීඩිත
පරමාර්තකමි පුද්ගලයා
මනුෂ්‍යත්වයේ පිහිට පතනුයේ
ඔහු පිදුම් ලබන පීඩිත බව
ඔහුගේ හදවතේ
කැකෑරෙන නිසා විනා
අන් කරුණක් නිසා නොවන බව,
මනුෂ්‍යත්වය පිටේ
හංවඩු ගසා ගත්
අප තේරුම් ගත යුතුය..



අමන බවින්
පුර්ණ වූ සමාජය තුල
කළගුණ දත්
පුද්ගලයින්
වහකදුරු සොයන සේ වුවත්
කළගුණ දත්
ශේෂ්ට පුද්ගලයින්
එක් අයෙක් හෝ
අප අතරේ සැරිසරන බව
අප තේරුම් ගත යුතුය..
එසේ අප අතරේ සිටින ඔහු,
අපගේ අසරණ බවේ
අර්ථාන්විත බව
තේරුම් ගනිමින්
අප කර පැමිණෙනුයේ
ඔහුගේ සිතේ මෙන්ම
ඔහුගේ ක්‍රියාකාරකම් වල ඇති
පිරිසිදු බව,
ලොව තුල සටහන් කරවමිනි...
ආදරණීය සෙනෙහසේ
අරුත ජනිත කරවමින්
ඔහු අපිට උපකාර වනු පිණිස
අප අවට ගැවසෙනු ඇත..
ඒ අයුරින් ඔහු
අප අවට ගවසෙනුයේ
පෙර කල
අප තුලින් දුටු මනුෂ්‍යත්වයේ
ශේෂ්ට බව
ඔහුගේ හදවතේ
ඔහු වටා සැරිසරන බැවිනි...





















"අපගේ හදවතේ පවතින මනුෂ්‍යත්වය, කෙදිනක හෝ අප අසරණ වූ කල්හි අපට සරණ වනු පිණිස අප අවට සැරිසරනු ඇත."

Tuesday, September 16, 2014

නියමය සමග පොරබැදීම...

අපේ ජීවිතය තුල අපි සිතන දේම අපිට ලැබෙන්නේ නෑ.. ඒ වගේම තමයි අපි කරන සෑම දෙයක්ම අපි සිතන අයුරින්ම සිදුවෙන්නෙත් නෑ.. මේ අයුරින් අපේ ජීවිතය ගෙතිගෙන යන විට අපි සිතන්නේ සෑම දෙයක්ම සිදුවන්නේ අපේ දෛවයේ කොටා ඇති පරිදි මේ දේවල් අපිට වෙනවම කියා. එක පැත්තකින් බලනකොට එය සැබෑවක් වෙන්න පුළුවන් මක්නිසාද යත්, " අපේ දෛවය" යන දේ පෙර කල අපගේ කාර්ම විපාකයන්ට අනුගත වන බැවින්.. එසේ වුවත් අපිට ඒ දේ වෙනස් කොරගන්න නම් පුළුවන් ටිකක් උත්සහ කලොත්, උත්සහ කොලා කියලා අපි මැරෙන එක නම් නවත්තන්න බෑ මොකද අපි ස්වභාවධර්මයේ තීරණයන්ට අවනත වෙන්න ඕන.එසේ වුවත් යු ටිවුබය ඔස්සේ ලස්සන වීඩියෝවක් හම්බ වුණා එකේ නම් පෙන්නුම් කරන්නේ දෛවයේ තීරණය අභිබවා ගොස් මරණය නමැති තීන්දුව වෙනස් කිරීනට දරන උත්සහයක් ගැන, එය එසේ වුවත් ඒ වීඩියෝව තුල සැගවුණු යටි අදහසක් දක්කනට ලැබෙනවා. ඔබ වීඩියෝව නරබා සිතන්නට උත්සහයක් දරන්නකෝ...





 ඔබ සිතුවාද????

ඔබ සිතන්නට ඇත
ඔබට සිතෙන්නට ඇත
කෙසේ උත්සහ දැරුවත්
දෛවයේ අවසාන තීන්දුව
එනම් මරණය
නැවත්වීමට දරන
උත්සාහය
උත්සහයකටම පමණක් සීමා වන බව
එය සැබෑවක් වුවත්
අප ජීවත් වන කාලය තුල
අප සිතන යම් යම් දේ
අපිට සිතනා සේම
ජය ගැනීමට නොහැකි වග
ඔබ එය කර ගැනීමට නොහැකි වගේ
පහස ලබා ඇත..
ඔබ සේම මා ද ඒ නොහැකි වගේ
පහස ලබා ඇත..
එය එසේ වන කල්හි ඔබේ ඒ,
සිහින වලට
බලාපොරොත්තු වලට
ගමන් කිරීමට නැවත සිතා ගත්තද??
එසේ සිතුවා නම්,
ඔබට ඒ දේ කල හැක
ඒ සිහිනයට යාමේ මාර්ගය
කලින්ට වඩා
දිගු වුවත්
ඒ මාර්ගයේ යාම තුලින්
ඔබගේ ජීවිතයට
නවමු
අත්දැකීම්,
අභියෝග,
වෙනස් මිනිසුන්,
වෙනස් ගතිගුණ,
ඔබට මුණගැසෙනු ඇත
ඒවා තුලින්
ඔබ නව ජීවයක් ලබනු ඇත.
ඒවා තුලින්
ඔබට ඔබගේ සිහිනය ජය ගැනීමට
හැකි වනු ඇත..
පෙර කල,
ඔබගේ සිහිනය ඉටු නොවීමේ
දෛවයේ තීරණය
මෙකල ඔබට පරාජය වනු ඇත...
















මෙසේ බ්ලොග් සටහන් තබන මම ලොකු පොරක් හෝ පොර ටෝක් එහෙම දෙන්න හිතාගෙන තබන සටහනක් නොවේ මේ.. සැබවින්ම මම මේ තබන සටහන් මගේ දිවියේ එක කොටසක් ඒ කොටස ඔබත් සමග බෙදා ගනිමින් මගේ ජීවිතයටත් ශක්තියක් ලබා ගනිමින් ඔබේ ජීවිතයටත් කුඩා හෝ ශක්තියක් ලබා දී අපි හැමෝගෙම ජීවිතවලට සාර්ථකත්වය ලබා ගැනීමට දරන පුංචි උත්සහයක්..

Thursday, September 11, 2014

වචනයක පරිසමාප්ත අර්ථය.. නමින් "ඇය"

ඇය
සැම අතින්ම
ශක්තිමත් වුවාය..
ඇය
සැම අතින්ම
දහිරිය සම්පන්න වුවාය..
අගේ සෙනෙහසේ
අර්ථාන්වික බව,
අගේ දයාවේ
ශක්තිමත් බව,
අගේ දිරියේ
විශ්වසනීය බවත් සමගින්
මා හොදින් හැදී වැදුනේය..
අගේ පරම වූ පැතුම
මගේ දියුණුවම පමණක් විය
ඒ පරම පැතුමේ
සාර්ථකත්වය පිණිස
ඈ..
අපමණ වෙහෙසක් දරනට ඇත
සිතින් සහ ගතින්,
අපමණ සිහින මව්නට ඇත
පිළිබද මගේ දියුණුව..
සැපක් නොවිදි ඈ
ඇය සැප විදිනවා වෙනුවට
අපගේ සැප වෙනුවෙන්
වෙහෙස වුවාය..
ඔබ වෙනුවෙන්
තබන මේ සටහන
මිහි මත තිබෙන
වැලි කැටයකට තරම් වත්
සමාන නොවුවත්,
මා සමාජය තුල
ශක්තිමත් කිරීමට දරු
අපමණ වෙහෙසට
කුඩා උපහාරයකි....



ඔබ ලද
වෙහෙසට
සවියක් වන්නට
ඔබගේ සිතේ තිබු
පැතුමන්
මල්ඵල දරවීමට
මට හැකි
උපරිමය
ඔබ වෙනුවෙන් ඉටු කරමි..
ඔබ ලද දුක් වලට
කෙදිනක හෝ සැපතක් දීම
මගේ එකම අරමුනයි..
මගේ සැපත,
මගේ දියුණුව,
මගේ සාර්ථකත්වය,
මගේ සතුට
වෙනුවෙන් සැමවිටම 
වෙහෙස වූ ඔබ
මගේම ආදරණීය අම්මාය...

 
සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන්නා වූ මේ ගීතය මවකගේ සෙනෙහස, දයාව හා කරුණාව පිළිබද මනා වූ අර්ථකතනයක් ලබා දෙනු ලබයි.

Monday, September 8, 2014

එකම මවකගේ කුසේ ඉපදීම..

මිනිසත්කමේ
පරම චින්තනය
දෝතින් බදාගත්
සමාජයේ
දියවී යන
ඉටි රූපයකට
උපමාවන මිනිසා
නැවත නැවතත්
මැරී ඉපදෙන්නේ
විවිධ පැහැයෙන් යුතු
ඉටිපන්දම් සේය..
වරෙක බෞධයෙකු
සේද,
ඔහු මැරී ඉපදෙන විට
නැවත ඔහුගේ ආත්මයම
හින්දු මවකගේ කුසේද
තවත් වරෙක
ඉස්ලාම් ආගමික මවකගේ කුසේද
තවත් වරෙක
කතෝලික ආගමේ මවකගේ කුසේද
විය හැක..
මෙය වැටහා නොගත්
අධම මනසින් හෙබි මිනිසා
ජාති වශයෙන් කුලල් කන්නේ
ඇයි දැයි මට නොවැටහේ...
දැන් තවත් ජාතියක සිටිමින්
වෙනත් ජාතියක් වෙනුවෙන්,
මෙන්ම ඔහුන්ගෙන් තම ජාතියට
විවිධ දේ වන බව පවසමින්
සටන් වදින මිනිසා
නැවත ඉපදෙන විටදී
ඔහු පෙර ආත්මයේදී
ගැරහු ජාතියේ මවකගේ කුසේ
පිලිසිදගෙන සිටීමට පුළුවන...
ඉපදීමෙන් පසු
ඔහුට ඔහුගේ ජාතිය
ලොව ඇති ශේෂ්ටතම ජාතිය වනු ඇත...


















එය එසේ වන විටදී,
අන් අයගේ අතින් සිදුවන
සුළු වැරදි
නොසලකා හරිමින්
අපිට එක මෙන්
එක ජාතියක් වශයෙන්
සිංහල මුස්ලිම් ද්‍රවිඩ
ලෙස නොසලකමින්
අපිට බැදී සිටීමට පුළුවන
එසේ විය යුත්තේ
නැවතත් නැවතත් අප ඉපදෙන ලෙසිනි..
බුදු දහමේ එසේ සදහන් වුවත්
වෙනත් ආගම වල එසේ සදහන් නොවුනත්
අපිට කම් නැත,
මක්නිසාද අපි සැවොම මිනිසුන් වන බැවිනි
නමුත් සෑම දහමකටම
පොදු වූ නියායක් ඇත,
එය වනුයේ
හොද කරන්නට හොද ලැබෙන බවයි..
එය එසේ වූ කල්හි
නරක කරන්න හට නරකම ලැබෙනු ඇත
එය බුදු දහමේ පරිදි නම් මේ ආත්මයේම හෝ ලබන ආත්මයේ විය හැක
වෙනත් ආගමක නම් ස්වර්ගය හෝ නිරය,
ඔහුගේ ක්‍රියාවන් වලට ලැබෙනු ඇත..
එය එසේ තේරුම් ගන්නා කල්හි,
අපි සැවොම එක සමාන වනු ඇත
අප එකම ජාතියක් වනු ඇත
අපි එකම මවකගේ කුසෙහි අවසාන සංසිද්ධිය
වශයෙන් ඉපදෙනු ඇත...

"මිනිසුන් වන අපගේ එකම අභිප්‍රාය විය යුත්තේ ජාති ආගම් වශයෙන් ඇන කොට ගැනීම නොව සැවොම සමගින් එක සේ බැදී සමගියෙන් කාලය ගෙවීමයි මක්නිසාද යත්, අප ඉපදුනත් නැවත මරණ බැවිනි. යම් අයෙක් මෙය කියවන කල්හි ඔහු සිතින් විමසයි,මු මොන ආගමේ එකෙක්ද මොන ජාතියේ එකෙක්ද කියල?? එකට පිළිතුර මට දෙන්න පුළුවන් මගේ ආගම බෞද්ධ එත් මට එක ජාතියකට පමණක් කොටු වෙන්න බෑ.. මොකද මට බෑ මම සිංහලයෙක් යයි මටම හංවඩු ගස ගනිමින් තවත් ජාතියකට ගරහන්න මොකද පෙර ආත්මයකදී මගේ ජාතිය සිංහල නොවෙන්න පුළුවන් බැවිනි, මම වෙනත් ජාතියක නැවත ඉපදීමට ඉඩකඩ ඇති බැවිනි." 

"ජීවත් වන සෑම තප්පරයක්ම ජාති ආගම් වශයෙන් සටන් වැදීමට නොව අන් අයගේ යහපත, අන් අයගේ දියුණුව හා මිනිසුන්ට  උපකාරීවනු පිණිස තම ධර්මයට අනුගත වෙමින් ධර්මනුකුලව දිවි ගෙවීමට සිතා ගන්න"

Sunday, September 7, 2014

තීරණය ලැබීම..

සියලු පැතුමන් අත්හල සිතින් යුතුව
පෙර පරදීම
බලා සිටිමි..


එය 
බලා සිටීමක්ම පමණක් විය..
අතීතයේ 
පැතුමන් සුන් වුයේ 
යම් සේද 
වර්තමානයේ 
මා සතුව තිබු පැතුමන් 
සුන් වී ගියේ
දෛවය නමැති ජූරියේ 
අනුකම්පා විරහිත බව
මගේ සිතේ නැවතත්
පසක් කරමිනි...
එය එසේ වන විට
නෙතින් වැටුණු කදුළු බිදු 
පිළිගන්නට 
ඉදිරිපත් වුයේ 
මගේ මුහුණ පමණකි 
කෙසේ වුවත් 
ඒ අවස්ථාවේදී 
මගේ සිත, නැවතත් මල්ඵල දැරවීමට
ඉදිරිපත් වුවෝ කීප දෙනෙකු සිටි
ඔවුන් හට තුති මල් පිදීමට
මෙය අවස්ථාවක් කර ගනිමි...



















එසේ ජූරියේ
තීරණය ලැබුනත් 
වැටුණු මා
නැවත නැගිටිනුයේ
පෙර සිටිය ලෙසටත් වඩා
ශක්තිමත් මිනිසෙකු,
සාර්ථකවත් මිනිසෙකු
ලෙසිනි..
එසේ වන විට 
ජුරිය ලබා දුන් තීරණය 
මගේ දෙපා මුල 
වහලෙකු සේ 
ඇද වැටෙනු බව 
මගේ විශ්වාසයි..
නැවතත් 
මගේ සාර්ථකත්වය 
වෙනුවෙන් 
මා පසුපස සිටින
යෝධ සෙවනැළි වලට 
මගේ හද පිරි
තුති මල්...

"සෑම අයෙකුටම යම් අවස්ථාවක තමන් බලාපොරොත්තු වුවාට වඩා අතිශයින්ම විරූපී සහගත වූ තීරණ වලට මුහුණ දීමට සිදු වේ.ඒ අවස්ථා වලදී තමන්ගේ සිත කඩ වැටුනත් ඒ කඩ වැටීම නැවතත් නාග සිටුවීමට තමන් අසල සිටිනා කල්‍යාණ මිතුරන්ගේ මෙන්ම දෙමවුපියන්ගේ ශක්තිය තමන් හට ලැබේ. ඒ ශක්තියද කටුව එමෙන්ම තම සිතේ ශක්තියද කටුව නැවතත් මහා පුරුෂයෙකු ලෙස නැගී සිටීම අනුකම්පා විරහිත වූ දෛවය සහ ඔහුගේ තීරණ පරාජය කිරීමට මනා රුකුලක් වේ"

පෙර සටහන..

Friday, September 5, 2014

සාර්ථකත්වයට යන අතර මග...

මගේ Blog පිටු අතර මේ පැදි පෙළ සටහන් කරන්නට ම හට සිතුනේ මගේ කුඩා කාලයේදී ඇසු මේ පද වැල් සටහන මේ දක්වාම මගේ ජිවිතයට ආදර්ශයක් වූ හෙයින්. සැබවින්ම කිවහොත් මේ පැදි පෙළ සැබවින්ම ජිවිතයට් ආදර්ශයක් එමෙන්ම ජිවිතයේ සාර්ථකත්වය සොයා යන අපට මැනවින් උපකාර වන අත්වැලක්. රත්න ශ්‍රී විජේසිංහයන් විසින් අලංකාරවත් ලෙස ගලපු මේ පැදි පෙළ සාර්ථකත්වය සොයා යන මගේ ලැබෙනා වෙහෙසවත් බව මෙන්ම දුක් කම්කටුලු වල කටුක බව මොහොතකට සිතින් ගතින් තුරන් කිරීමට සමත් වන බව මා හට මේ තුලින් ලැබී ඇති ආස්වාදය තුලින් වැටහී යයි. එසේ වන හෙයින් ඔබ හටද මේ පැදි පෙළ ඔබගේ සාර්ථකත්වය සොයා යන මගට අත්වැලක් වේ යැයි මට සිතේ...

ගංගාවක් වී ගලන්න
උල්පත පසු කර
වැවක් වෙලා නතර වෙන්න 
නෙලුම් මලක් යට 

නිල දිය මත ගල් කැටයක් 

වැටුණු වෙලාවට 
රැල් සිය දහසක් නැගේවි 
රිදිලා හදවත 

දිවිල්ලෙන් වැසුණු දට 

මුළු මිටියාවත 
සිහි කරන්න කදු පාමුල 
මව්කිරි උල්පත

ඇල්මෙන් අකුරට ඇවිදින් 

අකුරු අහිදගෙන 
කදු මුදුනට නැග බලන්න 
ජිවිතයේ උස..




















සාර්ථකත්වය නමැති කදු මුදුනේ මුදුනත සිප ගැනීමට වෙර දරන ඔබට රත්න ශ්‍රී විජේසිංහයන් විසින් දුන් මේ දායාදය ඔබගේ ගමන් මගේ දියුණුවට මෙන්ම ඒ ගමන් මග තුල ලබන කටුක අත්දැකීම් ඔබගේ සිතින් තුරන් වනු දැකීම, මෙම Blog සටහන සටහන් කල මගේ එකම පැතුමයි.

Wednesday, September 3, 2014

පරමාර්තකාමි වෙඩිමුරය...

අහස දෙස බලමින්
පොළව දෙස බලමින්
හුල්ලන්නේ,
තම දරුවන්ගේ
බඩගින්න දකිමින් සිටීමට
නොහැකි හෙයිනි
නමුදු
කෙසේ කියම්ද?
කෑමට යමක් නැති වග..
චිත්ත පීඩාවෙන් තලි පොඩි වී
යන යුගයක
තම හේනේ හට ගත්
සහල්,
කුරහන්,
මුං බෝංචි
කුණු කොල්ලෙට ගත් හෙයින්
කිරි පිටි පැකට් එකක් වත් ගන්නට
අතේ පිච්චියක් නැති හෙයින්
තම දරුවන් හඩන හැටි
කෙසේ වාවන්නද?
අට පහ නොදත් දරුවන් එසේ හැඩුවත්
අට පහ දත් දරුවා නොහඩා සිටිනුයේ
තම පවුලේ පීඩිත බව දැක විනා
ඔහුට බඩගින්නක් නොදැනෙන හෙයින් නොවේ..
බඩගින්නක් දැනුනත් ඉවසා සිටිනුයේ
මවගේ චිත්ත සන්තාපය
තවත් ඉවසීමට නොහැකි බැවිනි..
ගෙදර හල් ඇටයක් වත් නොමැති වග
ලෝකයට හන්ගමින්
තුන් වෙලාම සරුවට බුදින බව
ලොවට පසක් කරනුයේ
ලෝකයෙන්,
තමනට් හා පවුලට
ලැබෙන
නවනින්ගිරවෙන් බේරීමට විනා
අන් දෙයක් නිසා නොවෙයි..
ජල චක්‍රය,
කාබන් චක්‍රය,
නයිට්‍රජන් චක්‍රය සේම,
බඩගින්න සගවීමේ චක්‍රයද
ලොව තුල ජනිත වී ඇත්තේ
බඩ ගින්නෙන් තලි පොඩි වී ගිය
හේන් ගොවියන්,
මධ්‍යම පාන්තික රජයේ සේවකයන්,
කම්කරුවන්,
දෛනික කුලී කරුවන්
සහ..,
අද සමාජයේ ජීවිතය
ගැට ගසා ගැනීමට වෙර දරන
අපටත් නොදැනෙන ලෙසිනි...
නව වසන්තයක් දෙන බව පවසන විට
වැල යන අතට මැස්ස බදිනුයේ
සුපුරුදු ලෙස ඊනියා සමානාත්මතාවයේ
කතිරය ලබා දෙමිනි..
කතිරය ලබා ගැනීමට
තුත්තිරිගස් අල්ලමින් පැමිණෙන්නන්
තම ඉලක්කය ලගා කර ගැනීමෙන් පසු
පිට පාරෙන්ම දුවනුයේ
නව වසන්තයේ නිම් වළලු
ඔවුනගේ පරම්පරාවන්ට උරුම කර දෙමිනි..
මෙය දකින
අසරණ බැවින් පීඩිත වුවන්
අවසානයේ පවසනුයේ,
මුන්ට සැලකු අපිට මඩු වලිගෙන් තලන්න ඕනේ යයි
තමන්ටම ගරහමිනි..


















බඩගින්නේ ආස්වාදය ලබමින්
ජීවන උද්දමනයේ පහස ලද්දෝ
දැක දැකම,
තරු පහේ
කෑම කඩ වල
සප්පායම් වන පාලකින්
පවසනුයේ
අපිට මේවා ලැබුනේ පෙර පින් නිසා යයි
පවසමිනි..
එසේ වුවත්
අපගේ දායකත්වය නොලැබුණි නම්
පෙර පින් අහෝසි වී යාමටද ඉඩ තිබුණි
බව,
ඔවුනට නොවැටහෙනුයේ
ඔවුන්ගේ මොළ ගෙඩි තුල ඇති
ආත්මාර්ථකාමී බවේ
කුකුල් අඩි සටහන් වී ඇති බැවිනි..
නව වසන්තයේ
භෞතික ස්වරූපයන්
ගොඩ නැගීමට මත්තෙන්
මනුෂ්‍යයන්ගේ සබැ ඕනෑ එපාකම්
දකින්නට හැකිනම්
ඔවුන්ගේ පරමර්තකාමී බවේ
ශේෂ්ඨ පරම චින්තනය
ජීවන උද්දමනයේ පහස ලද්දන්ගේ හදවත් තුල
සටහන් වනවා මෙන්ම
බඩගින්න නමැති වෙඩිමුරයටද
නැවතීමේ තිත සටහන් වනු ඇත..

"මිනිසුන් වන අපගේ සබැ ස්වරුපය අපටත් නොදැනීම සැගවී යනුයේ ලෝකයෙන් ලැබෙන සීමා රහිත වූ සරදමට ඇති බිය හෙයිනි"


Monday, September 1, 2014

මොළ ගෙඩි සේදීම...

සංචාරය පිණිස පැමිණි අයෙක්,
කෝ කෝ ලිද
කෝ කෝ වැව
කොහෙටද ගියේ
කලින් මෙතන තිබුනනේ
කොහොමද නැති උනේ??

මෙසේ යම් අයෙක් 
විමසන කල්හි,
වියලි ගිය මඩ තට්ටු
සෝදාගෙන
රජ වන්නට නොහැකිව
බලාගෙන සිටින
සහල් ගොවියා
බිරන්තට්ටු වී
බලාගෙන සිටිනුයේ,
තම වෙලී ගිය
බඩ වැල් වලට
ආස්වාදයක් ලබා දීමට
දිය දෝතක්
මේ ලබා දෙයි.. මේ ලබා දෙයි..
යන චිත්තාණුරුපි
කවි පෙලේ
පද වල් එකින් එක
අමුණමිනි...

ඒ මේ අතර නැවත වරක්,
කෝ කෝ ලිද
කෝ කෝ වැව
කොහෙටද ගියේ
කලින් මෙතන තිබුනනේ
කොහොමද නැති උනේ??

මෙසේ අසන කල්හි,
මෙයට
පිළිතුරු දීමට විනා
හුස්ම පොදක් ඉහලට ගන්න
ශක්තියක් නැතුව,
විඩාවට පත්ව,
පිපාසයෙන් ඔද වැඩීගිය
අටකොටු මිටියකින් සර්ව සම්පුර්ණ වූ
සහල් ගොවියා බල සිටිනුයේ,
තම බිරිද
තම දරුවා
පිපාසයෙන් වේලී
බඩගින්නෙන් මිරිකී
යන දෙස විනා
වැව ගියේ කොහෙද? ලිද ගියේ කොහෙද?
යන දෙස නොවේ.. 


















ඒ මේ අතරේ ලංකාවේ  සම හරක්,
නානවා Ice Bucket
එකලු අලුත්ම ට්‍රෙන්ඩ් එක
මොකකටද මන්ද ආධාර පිණිසලුනේ කරන්නේ...
හැබැයි හිත උණු වෙලා නම් නෙමෙයි
මුලික පරමාර්ථය ප්‍රසිද්ධ වීම,
මාධ්‍යවේදියෝ
ගායකයෝ
නළුවෝ
නිලියෝ
ඔක්කොම නානවා
ඒ මදිවට challenge කරනවා..




තම ප්‍රසිද්ධිය පිණිස කරන්න වූ මෙවන් වූ ඊනියා ක්‍රියාකාරකම් ලෝකය යන අතට පිනුම් ගැසීම පිණිස නොව තම අසල් වැසියන්ගේ සුභසිද්ධිය පතා, ඔවුන්ට උපකාර වනු පිණිස පතා, මනුෂ්‍යත්වය වෙනුවෙන් යමක් කීරීමට යොදා ගත්තේ නම් කොතරම් අගනේද? මෙසේ අයිස් වතුරෙන් නෑම විනා අයිස් වතුරෙන් තම මොළ ගෙඩිය සෝදා ගත්තා නම් යම් දෙයක් වෙටහෙනු ඇත. මෙය කියවන්නා වූ යම් අයෙක් මෙම ලිපියට ගරහනු ඇත, ඒ ගැරහීම පසෙකට කර මෙම ඊනියා ක්‍රියාකාරකම් තුල සැගවුණු යටි පරමාර්ථ සහ මනුෂ්‍යත්වය යනු කුමක්ද යන්න තේරුම් ගැනීම අගනේය. මේ ලිපිය හුදෙක්ම මොළ ගෙඩි සේදීමට විනා ලෝකේ යන අතට දගලන සම හරක් ලාංකිකයන්ගේ කරනම් ගැසීම විවේචනය කිරීමට  නොවන වග වටහා ගන්න.