Saturday, November 4, 2017

උපවාසය උපහාසයක්ද?

සංහරේ...සංහරේ.. දකුණින් පෙළට..සැදෙව්! හැමෝටම පාඩම් ද 
අන්තරේ....!
"සර් අන්තරේ නෙමෙයි මන්තරේ."
එහෙම කිවුවේ පිටිපස්සෙම ඉඳන් හතරවෙනියට හිටපු පිට රතු අප්පුවා.
"තමුසේ කවුද මට වැරදි කියන්න!" සීරුවේ...න් සිටු!
අඬු පඬු ගසලා දාලා කළු, රතු, තෙල් කූඹි පිළිවෙලට පෝලිමට සීරුවෙන් පෙළ ගැසුනා. 

තමුන්නැහැලා දන්නවදදද.. අපිට තවම අපේ අයිතීන් ලැබිලා නැහැ.. අපේ ඉල්ලීම් තාම ඉල්ලපු තැන්වලමයි.. රාජධානියේ බලත්තු තාම හිටි තැන් වලමයි.. ඒත් අපි අපේ සටන නවත්තනවදදද??????
නෑ...උතුමාණනී...!
මැද හිටපු කළු බඩා හයියෙන් කෑගහලා උඩපන්නා.

අපි අපේ සටන දිනන්න ඕන නම් කරන්න ඕන මොනවදද...!
ලේ හැලුණත් පාර දිගේ දිගටම යන්න ඕන උතුමාණනී.....!
ආයෙත් කළු බඩා හයියෙන් කෑ ගහලා කිවුවේ හිතේ තිබුණ ආවේගයත් එක මිටකට අරගෙන. උතුමාණන් ගේ සිත සතුටින් පිරුණා.

දීර්ඝ කාලයක සිට මොවුන්ගේ ඉල්ලීම වුණේ සිටු පවුල් වල කූඹීන් හට සීනි ඇට කෑමට ඇති අවසරය ඉවත් කරන ලෙසයි. මොකද රාජධානියේ සීනි ඇට කෑමේ වරප්‍රසාදය හිමි වූයේ එකල සිටි අති දක්ෂයින් යැයි පිළිගත් අයට පමණයි. එහෙත් පෙර රාජ්‍ය කල පාලනයන් අවසරයක් ලබා දී තිබුණා සීනි ඇට කෑමට කැමති අය සිටී නම් ඔවුනට ඒ සඳහා අවස්ථාවක් දීමට. ඒත් නිකන් නෙමෙයි යම් දායාදයක් රාජ්‍යට ලබා දීමෙන්. ඉතින් මේ සඳහා ඉදිරිපත් වුණේ රාජ්‍යයේ සිටි සිටු පවුල් වල කූඹීන්.  රාජ්‍යයේ සිටි දක්ෂ යැයි පිළිගත් කූඹීන් මේ දේට කැමති වුණේ නෑ. ඒ නිසා ඔවුන් ආරම්භ කරා අරගලයක්, අව් වැසි නොසලකා සීත කාලයේදීත්, ග්‍රීස්ම කාලයේදිත් ඔවුන් ඉදිරියටම ඇදුනා. එහෙත් නව ආණ්ඩුව ඒකමතික තීර්ණයක සිටියා. කොහොම කොහොම හරි දින සති ගත වුණේ බලාගෙන ඉද්දිම, ඒත් අරගලයේ නම් අවසන් වෙන පාටක් තිබුණෙම නෑ.

"වාත අමාරුවත් එහෙම් පිටින්මයි. දැන් ඉස්සර වගේ අඟට හයි හත්තියක් නෑ නොවැ..උන්නැහේ.."
පහල ගුල්‍ යායේ රතු තෙල් අප්පුවා එහෙම කිවුවේ කොන්ද අල්ලගෙන. උන්නැහේගේ පුතත් සීනි ඇට කන්න වරම් ලබපු එකෙක්  නොවැ.

"මටත් එහෙම තමයි ලොකු උන්නැහේ..ඒත් ඉතින් එහෙම කියලා මේ වැඩෙන් අයින් වෙලා ඉන්න හිතක් දෙන්නේ නෑ.. පණ ගියත් මේ සටන දිනන්න එපැයි.. නැත්තනම් අපේ කොළුවගේ පණ යයි. අපි නම් දැන් නහින දෙහින කාලේ..ඒ වගේද කොලුවා.."
එහෙම කිවුවේ රතු තෙල් අප්පුවා ලඟ හිටපු තවත් කූඹි උන්නැහේ කෙනෙක්.

පැරණි ආණ්ඩුවෙන් ස්ථීර කල පනත නව ආණ්ඩුවෙන් අවලංගු කරන්න අදි මදි කරත් යම් යම් සාධාරණ මත වලට ගරු කරන්න අමතක කලේ නෑ. ඒ නිසාවෙන්ම නව ආණ්ඩුවෙන් සාධාරණ විසඳුම් රැසක්ම ලබා දීලා තිබුණා. ඒ කොහොම වුණත් අරගලයේ නම් නවතින පාටක් තිබුණේ නෑ.. කොහොම කොහොම හරි අවසාන වෙනකොට කුඹි ලමයින්ගේ දෙමව්පියොත් පාරට බැස්සා. ඒ  නොනවතින අරගලයකට.. නොනවතින උපවාසයකට..

රාජ්‍යයෙත් දේශපාලන ප්‍රශ්න වලින් නම් අඩුවක් තිබුණේ නෑ. පාට පාට වලට බෙදිලා තැන් තැන් වල තමන්ටම කියලා පක්ෂ හදාගත් අය හිටියා. කොළ, රතු, නිල්, කහ වශයෙන් බෙදිලා මරාගන්න, මඩගහගන්න අමතක කලෙත් නෑ.

"රතු තොප්පි සහෝදරයා දැන් මොකද කරන්නේ අපි, ඡන්දෙන් නම් ගොඩ යන පාටක් නෑ වගේ"
එහෙම කිවුවේ රතු පක්ෂේ සිටි එක් අපේක්ෂකයෙක්.

"ඒකට කමක් නෑ! අපි රාජ්‍ය ඇතුළේ ගින්නක් අවුළුවලා තියමු.. පෙන්නේ නැත්ද සීනි ඇට සීන් එක. ඒ ගින්නම ඇති ටිකක් නැගලා යන්න.. අපි ගින්න තියලා පාඩුවේ ඉමු.. රාජ්‍යට ඉහළින් වටෙන ළා ඉර රැස් ඒ ගින්න තවත් වැඩි කරන්නේ නැතැයි.

"හම්මේ...ලොක්කා තමයි දවසකටත් මිනිහා.. හැබැයි ඉතින් පව් වැඩ්ක් තමයි මේක..කූඹි කොලුවන්ගේ මහ එවුවොත් මාරාන්තික ගේමකට බැහැලලු.."

ඒකත් මේ ආතල් එකේම කොටසක් බන්..උන් මාරාන්තික ගේමක්ට බැස්සොත් උන් මැරෙයි..උඹට අවුලක් නෑ නේ එක නිසා පාඩුවේ බලාගෙන හිටපන්..හික් හික් හික්..බුවහ්හ්හ්හ්...

එහම කියලා දෙන්නම හයියෙන් හිනා වුණා.ඒ හිනාව ඇතුළේ තිබුණේ උපහාසයක් ද? වටේ සිටි කාටවත් ඒ බවක් නම් තේරුණේ නේ..

Sunday, October 29, 2017

ඩ්‍රැකියුලන්ගේ ආගමනයක්!

          ඇඩෝල්ෆ් හිට්ලර් නම ඇවුවහම ඇඟ හිරි වැටිලා කකුල් දෙක දිගේ සුළු දිය බේරෙන්න පටන් ගත්තේ ඒ කාලේ ජර්මනියේ හිටපු ඈයන්ට. ඔය වගේ නම ඇහුව ගමන් බිය දනවන සුළු ඩෑල් ඕන හැටියේ ලෝකේ පුරවටම හිටියා සහ ඉන්නවා. ලෝක පූජිත මිනීමරු වීරයෝ ගැන කතා කරනකොට ඉතින් කියන්න රස කතා නම් කට පුරාවටම රසට හැපෙනවා. ලෝකප්‍රකට මිනීමරු වීරයෝ ගැන ඉස්සර කතා වෙනකොට චුට්ටක් දුක හිතුණා. ඒ අපිට කොහෙද ඒ වගේ මිනීමරු වීරයෝ! කියලා හිතුන නිසා.
             යුද්ධයක් කියන්නේ එක්තරා විදියක    අරගලයක්. "අරගලයෙන් මිස කිසිම දෙයක් දින්න බෑ" කියලා එහෙන් මෙහෙන් අහලා තියෙනවා. කොහොම වුණත් අරගලයන්ගේ ප්‍රභේදයන් එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි ඒ අරගලයන් විසඳීමට බහුතර බලය යෙදවෙන්නෙත් වෙනස්ම අකාර වලින්.
ඉතින් ඔය අරගලයටම කියන තවත් එක නමක් තමයි ත්‍රස්තවාදය කියන්නේ. ඒ යම් සුළුතර පක්ෂයක් විසින් තමන්ගේ අයිතීන් වෙනුවෙන් කරන අරගලයක යම් විශාල පැතිරුණු අවස්ථාවක් හඳුන්වන නම. බහුතරයක් හිතුවත් ත්‍රස්තවාදය කියන්නේ අමුතුම ආකාරයේ මිනීමරු ව්‍යාප්තියක් කියලා එහෙත් ත්‍රස්තවාදය කියන්නේත් "අරගලයෙන් මිස ජයග්‍රහණයක් නොමැත යන" මැයෙන් යම් කොට්ඨාසයක සටන් වැදීමක දිගුවක්.
                    ඒ විශාල අරගල ව්‍යාප්තීන් විසඳීම අවසන් වන්නේ දහස් ගණනක් තම ජීවිතයෙන් වන්දි ගෙවීමෙන්. ඒ වන්දි ගෙවීමට අපි ලස්සන වචනයක් ලබාදෙනවා "යුද්දය" කියලා. ඉතින් යුද්දයෙදි නානාප්‍රකාර ආයුධ භාවිතා කිරීමෙන් සිදුකරන ඝාතනය ලොව ඇති කිසිදු ආගමක අනුමැතියක් ද? ආගමක චිරස්ථිතිය වෙනුවෙන් කතා කරන බහුතරයක් ආගම් වාදීන්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවහම පොඩ්ඩක් හිර වෙනවා. හිර වෙලා ටිකකින් කියන්නේ " රට වෙනුවෙන් නේ" කියලා.
ඉතින් ඔය සංග්‍රාම භූමිය ඇතුළේ වෙන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා ඇත්තටම දන්නේ එහි යෙදීසිටින අයම වින වෙන කවුද?
                        ඉතින් සංග්‍රාමයක අවසානයේ අතිශෝක්තියෙන් පුරසාරම් දොඩන වීරයෝ සෑහෙන්න දේ කියනවා, ලියනවා. සමහර අය යුද්දයේ අභිමානය ගැන පොත් ලියනවා, තව අය යුද්දයේ අභිමානය ගැන ලස්සන කතා කියනවා, ඒ අතරේ තවත් අය යුද්දය දඩ මීමා කරගෙන හීනියට ඡන්දයක් එහෙම ගොඩ දාගන්න දගලනවා, එහෙම ගොඩ දාගත්ත අයත් නැතුවාම නෙමෙයි ඉතින්.
                     මිනිස්සු කැමති මැරුණු බල්ලෙක් වුණත් විකුණගෙන කන්න. මතකනේ අර කතාවකුත් තියෙන්නේ මී කුණක් විකුණලා දියුණු වුණු පොරක් ගැන. කොහොම වෙතත් ඒ වගේම අය යුද්දයත් විකුණගෙන කාලා රජ වුණ අය ගැනත් අපි අහලා තියෙනවා.
යුද්දය කියන දේ ඇතුළෙත් තියෙනවා යම් නීති රාමුවක්. ඒ නීති රාමුව හදලා තියෙන්නෙත් මානව අයිතිවාසිකම් ගැන කතා කරන ලොකු ලොකු අයම තමයි. ඉතින් යුද්දයක් ආවට ගියාට කරන බෑ ඒක ඇතුළෙදි කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා යස අපූරුවට පෙන්වලා දීලා තියෙනවා.
                    කොහොම වුණත් ඒ නීති ගැන තක්කෙටම හිතනවද යන සැකේ නම් තියෙන්වා. ඇයි ඉතින් යුද්දේ ගැන දන්නේ යුද්ද කරපු අයමනේ. හැබැයි හීනියට අඩියක් එහෙම ගනහන වෙලාවක යුද්දේ කරපු ඩෑල් එකක් සෙට් වුණොත් නම් අහගන්න පුළුවන් මොකද වුණේ කියලා.
                  යුද්දේන් පස්සේ ලොකු ලොකු දේවල් වෙනවා. යුද්දේන් පස්සේ මිනිස්සු දහස් ගණනක් මැරුණටත් පස්සේ සාමය ගැන කතා කරන අයත් ඉන්නවා. ජාතියේ ඉතිහාසය ගැන මහත් අභිමානයෙන් කතා කරන අයත් ඉන්නවා. ඒ අතරේ මහ ජාතියට හානි වෙන්වා නම් මිනී මිනීමැරිමට වුවත් සූදානම් අය ඉන්නවා.
               කොහොම වුණත් අන්තිමට යුද්දයෙන් අවතැන් වූවන්, යුද්දයෙන් දූෂණය වූවන්, යුද්දයෙන් දේපල අහිමි වූවන් ගැන කතා කරන්න නම් කවුරුත් නෑ. ඔවුන් ගැන සොයා බලන්න ඔවුට ආදරය කරන්න කවුරුත් නෑ. හැබැයි නැවතත් මිනීමැරීමට, ජාතිය රැක ගැනීමට සූදානම් අය ඉන්නවා. ඒ අතරේ ඒ ලේ බීමට සූදානම් සුනඛයින්ට පෙම් කරන අයත් නැතුවාම නෙමෙයි.



Thursday, October 5, 2017

දැන් පව්කාරයින්ට කෙසෙල්ගෙඩි ද?

                                 යුද්ධය යනු දෙපිරිසක් අතර සිදුවන් ගුටි බැට සහ වෙඩි හුවමාරුවකි. බල තණ්හාවේ උච්චතම අවස්ථාවේදි යුද්ධය හට ගන්නා අතර එය අතීතයේ සිටම පැවත එන්නකි. වර්තමානයේදී නවීන අවි ආයුධ භාවිතා කලද අතීතයේ යුද්ධයකදි ගල් ගෙඩියද ආයුධකි. බයිබලයේ සඳහන් වෙන්නේ පව් කාරයට ප්‍රථමයෙන් ගල් ගසන්න කියාය. එහෙත් පව් නොකල අයෙකු සෙවීමට වඩා නොමල ගෙයකින් අඹ ඇට සෙවීමට පහසු ය.
                 බල තණ්හාවේ උච්චතම අවස්ථාව විවිධ ස්වරූපයෙන් හඹා එන්නේ ගොනා පසු පස එන කරත්තය සේය. ජාති ආගම් බෙදා ගන්න බැරුව හංදි ගානේ මරා ගත් උන් පස්සෙ කිවුවේ සුළුතරේ එකා ත්‍රස්තවාදියා කියා ය. ඉන්පසු ත්‍රස්තවාදය තුරන් කර සාමයේ සුදු නෙළුම පිඹිදෙන්නට යුද්ධයේ අවි අමෝරාගෙන සටනට ගියේ රට වෙනුවෙන් ය. ඔවුන් පැවසූයේ එසේ ය.
                             සමූල ඝාතන හෙලා දකින නිදහස් සංගම් වලට වැලි ගසමින් මුහුදේ මාළුන් සිය ගණනක් එක පොදියට මැරුවේ අලුත් මාලු නම් රසයි කියමින් ය. කුකුල්ලු, ඌරෝ, එළුවෝ සංහාර පිටින් ඝාතනය කලේ දිව කට පිනවමින් ය. බුරුතු පිටින් සතුන් මැරෙනකොට හරකා මැරෙන එක වාවගන්න බැරිව හඬන උපාසකයින්ද නොසිටියේම නැත. "ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලබයි" බෞද්ධ දර්ශනයේ එසේ කියූවත් ධර්මය රැකීමට අතට ගත්තේ කුරුඳු පොලුය.සතුරාට ප්‍රේම කරන්න කියා ආදරයෙන් කියන විට මිතුරාගෙන් ගේම ඉල්ලුවේ මිතුරන්මය. යුද්ධය නම් එය ය.
                               නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි මොකද කියා තණ්හාවෙන් තමාට අවශ්‍යය නැති දේත් බදාගෙන්න හුරු වුණ සමාජයක මුදලට කෑදර වූයේ අතීතයේ සිටම ය. බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි නේ කියන අය හැල්මේ දුවන සමාජ රටාවේ අතරමං වී අන්ත අසරණ වී ඉන්නකොට සසර නම් තව සෑහෙන දිග ඇති කිවුවේ නොදන්නා කමට ය. සල්ලි වලට "අම්මා අප්පාවත් විකුණන කාලේක වෙන වෙන අය විකුණන එක නම් කජ්ජක් ද " යන දේ තේරුම් ගන්න බැරුව පව් කාරයින්ට ගල් ගසන්න හැදුවේ තවත් පව් කාරයින් විසින්‍ ය. යුද්ධය නම් එසේය.
               හෙළුවක් දැක්කාම විලි ලැජ්ජාවේ ඇඹරෙන අයියලා ඉන්න රට ලංකාව නොවීම සතුටක් ය. එයාලා හරිම සංවරය.මල් වගේම ය. ඔවුන් රහසින් වත් පව් නොකරන අය වූ අතර ධර්මයට හරි ලැදිය. සංහිදියාවට අකමැතිය. රැල්ලට හරි කැමතිය. ඉතින් ඔවුනට රැල්ලේ පාවෙන විට චූන් ය. රැල්ලේ පාවෙනා විට ඔවුනට කෙතරම් චූන් ද කියනවා නම් පව්කාරයට ගසන්නේ කෙසේල් ගෙඩි වලින්‍ ය. එහෙම අයත් බහුතරයකට වීරයන්‍ ය. යුද්ධය නම් එසේය.
                යුද්ධය කොතරම් ප්‍රචණ්ඩ ද කියනවා නම් සාමාජාවාදයේ පරම පිවිතුරු අදහස් ඔලුවේ පුරවාගෙන ඉන්න ශිෂ්‍ය දේශපාලනය තුළද ගැටුම් ඇති වූයේ බල තණ්හාවේ උච්චතම අවධියේ ය. එම නිසා ඔවුන හා  එක වහලේ යට සිටි හැම එකාටම එක වගේ සැලකූයේ පරිවාසයේ බැජ් ෆිට් එක දෙපොළින් යන්නට ය.ඉතින් යුද්ධය නම් එසේය.

Tuesday, October 3, 2017

මිතුරන්ට පෙම් කරමු












තුංග තුරු දෙස නොනිමි සුවයෙන්
ඝෝර නෙත් රැඳි මිතුරාණ
කල හි ගුණයක් නුඹෙන් නොපතමි
කිලිටු නෑ සිත ගවසාන

බුදුන් ඉපදුන සෙවණ අප වන්
විසල් තුරු යට රඳවාන
වැටුණු අව් වැසි, ‍රිකිල් පත්
දුක දරා සිටියේ නොකියාන

මුත්‍ර විෂ, නුඹේ වසුරු, මුල් මත 
වැතිරුණත් සිත් පාරාන
බලා සිටියේ නුඹේ සුවයම
ඔවුන් නුඹ සිත් නොරිදාන

පිපුණු මල් ඵල බවට හැරුණේ
කුසේ ගිණි නිව සනසාන
නීල පත් මුල්, රෝග සුවයට
පිහිට විය දුක් දුරලාන

වසා සිටි පත් සවන් යුගලය
විවර කරමින් මිතුරාණ
අසව් සිත සංවරය පුරමින්
රකිව් අප, පණ නොනසාන

Sunday, October 1, 2017

ඔක්තෝබර් 10 ඔබත් එන්න

              "ඉස්කෝලේ යන කොල්ලෝ කුරුට්ටෝ කෑ ගගහ පාර දිගේ යති. උදේනිගේ පිළේ ලෑලි පුටු දෙකේ වාඩි වී දෙදෙනෙක් ආප්ප කති. තව මිනිහෙක් පිළ ගැට්ටේ ඇන තියාගෙන කර කරස් ගගා ආප්පයක් කයි. ආප්ප සුවඳ හැම තැනම පැතිරේ. අවුරුදු දහයක විතර පෙනුමැති කේඩෑරි ගැහැනු ළමයෙක් කඩදහි කෑල්ලක් උඩ තියාපු ආප්ප දෙකක් අත්ල මත තියාගෙන මාග්‍රට් ආප්ප පුච්චන තැන බලා සිටි. මාග්‍රට් උඩ ගිනි කබලට හෙමින් පිඹි. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර, මැද්දේ සවුන්දර යැයි තේරවිල්ලක් හැදිලා තියෙන්නේ මේ වගේ පිච්චෙන ආප්පවලට ය."
               
                   මෙම කොටස ජයකොඩි සෙනවිරත්නයන් ගේ මිනිස්සු යන නවකතාවෙන් උපුටා ගත්තකි. ජීවිතයේ සුමට තැන් සෙමින් පිරික්සමින් මිනිසුන්ගේ ජීවිත තුළට ඇතුළු වීමට මෙතුමාගේ රචන හැකියාවේ ඇති සරළ බවට හැකිය. මනා සංයමයක් ඇති සරළ බස ඉතාමත් සිත්ගන්නා සුළුය. ඒ නිසාවෙන් පරිශීලකයා හට කතාව තුළ චරිතයකට දායක වීමටද හැකියාවක් ඇත. ඒ බව මෙතුමන් විසින් රචිත පොත් කියවූ ඕනෑම අයෙකු දන්නා කරුණකි. නොමැරෙන මිනිස්සු,රමණි,රං කිරිල්ලි,අම්මයි දුවයි යන නවකතා සහ තවත් නවකතා මෙන්ම ළමා කෘති ගනනාවක් රචනා කල මොහු ශ්‍රී ලංකාව තුළ බිහි වූ දක්ෂතම ලේඛකයෙකි. 


       ඉතින් ඔහු ලාංකීය වින්දන සාහිත්‍යයට කල සේවයට ආදරය කිරීමට, ඒ ආදරණීය මිනිසා වෙනුවෙන් ලබන ඔක්තෝබර් 10 වන දින හවස 3ට මහවැලි කේන්ද්‍රයේ උළෙලක් සූදානම්ය. ඉතින් ඔහුව හමු වී ආදරය කරමු. එමනිසා එදිනට එනවිට ඔහුගේ මතකයත්, ඔබගේ ආදරයත්‍ රැගෙන එන්න. ඔබ එනතුරු මහවැලි කේන්ද්‍රයේ ඔහු සමඟින් අප බලා සිටිනෙමු.

Thursday, September 28, 2017

හෙක්ටර් විරාජ්‍ට සල්ලි දුන්නද?

                      සුනිමල් රැකියාව කලේ කොළඹ රජයේ කාර්යාලයකය. කොළඹින් නුදුරු පිටිසර ගමක ජීවත් වූ ඔහු විවාහ කර ගත්තේ ඔහු කුඩා කල සිට දැන හැඳින සිටි කුසුමා ය. විවාහයෙන් පසු ගමෙහි වැඩි කලක් ජීවත් වීමට ඔවුන් දෙපළට නොහැකි විය. මන්ද සුනිමල් හට කොළඹ රැකියාවට යාමට සිදු වූ හෙයිනි.


            "කොළඹට පායනන්නේ අපේ ගමේ ඉර නෙමෙයි, මේක මහ යකාගේ ඉරක්"  දවසේ තෙහෙට්ටුවට ප්‍රේමනීය පානයක් තොල ගාගත් ඔහු හවසට තම බිරිදෑ ට කිවේ එසේය. ඔහු එය පැවසීමෙන් තම බිරිඳෑ හට නොකියා කීවේ තමා හට ඇති මහන්සිය නිසා ප්‍රේමනීය පානයෙන් විඩා නිවාගත් බවයි. එක් දිනක් රාත්‍රී 8ට පමණ දෙදෙනාම අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ගොම්මන් වීගෙන එනවිට එළියට පනින මෙගා නාට්‍ය වල නළු නිළියන් ඉදිරියේය.  ඒ අතර වාරයේදි රටේ තොටේ සිදුවන ඕප දූප කතා කිරීමට ද දෙදෙනා අමතක කලේ නැත.

බිරිඳ : ඔහේ දන්නවද වැඩක්?
 
සැමියා: ඒ මොකද්ද අනේ?
 
බිරිඳ : මුන්ට නාකි වේගෙන එනකොට මඟුල් විසේ ගහනවනේ. මට නම් විලි ලැජ්ජාවේ බෑ.
 
සැමියා: දැන් ඔය මොකා ගැනද කියන්නේ?
 
බිරිඳ: හෙක්ටර් බස්නායක අන්න කෙල්ලෙක්ව බැඳලලු.වයස තිස් ගානක කෙල්ලෙක් ලු.
 
සැමියා: හෙක්ටර් මහත්තයා කැමති නම් බැඳගත්තහම මොකෝ.. ඔහේ මොකටද ඒකට ලැජ්ජා වෙන්නේ.
 
බිරිඳ: අපේ අම්මා මුත්තා කාලේවත් වුණ දේවලද ඔය, ලංකාවේ තියෙන සංස්කෘතියට මොකද වෙන්නේ? අපේ ජාතියට මොකද වෙන්නේ? මුන්ට මඟුල් විසේ ගහනවා නාකි වෙනකොට මම නම් සිංදුවක් වත් අහන්නේ නෑ ආය.. @#$%&?@$%@*@*@%@%@?@$#%@*-@-@-%$


ඔහුට කීමට දෙයක් ඉතුරු නොවීය. ඔහුගේ තොල් අඟ රැව් දුන් ඒ වචන සමුදාය එක හුස්මට ගිල දැමීමෙන් අනතුරුව කාමරයට ගොස් නිදාගත්තේය.


වසරකට පසු


ඒ නිරුවත මාකටින් කරන යුගයි. ඒ යුගයේ අමුතු අමුතු කලා කෘති බිහි වූයේ ගහෙන් ගෙඩි එන්නා සේය. එළවළු වෙලෙන්ඳා එළවළු විකිණීමට වෙළඳ උපායන් යොදාගන්නා සේම ගායකයෝද, ගීත සඳහා රූප රචනා කරන අයද විවිධ වූ වෙළඳ උපායන් මේ යුගයේදි යොදාගත්තේ මුදල් සෙවීමටය.මේ වකවානුවේ දී වෙනස්ම ආකාරයේ රූප රචනයක්, ගීයක් සඳහා නිර්මාණය විය. එය පෙර කියු හෙක්ටර් බස්නායක සිද්ධිය අලලා නිර්මාණය වූවක් යැයි බහුතරයක් කීය. එමෙන්ම එහි නිරුවත් දර්ශන මෙන්ම, විවිධ වූ වෙළඳ උපායන් සහිත දර්ශනද තිබිණ.පෙර පරදිම ඔහු තම රැකියාව අවසන් වී නිවසට පැමිණියේ ප්‍රේමනීය පානයද තොල් මතින් රැගෙනය. වෙනදා මෙන්ම රෑ 8ට පමණ මොහු තම බිරිඳ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ඉමක් තෙරක් නොපෙනෙන මෙගා නාට්‍යයේ අවසානය සොයමින්‍ ය.

ඒ සිටින අතරවාරයේ


බිරිඳ : ඔහේ දන්නවද වැඩක්?
 
සැමියා : ඒ මොකද්ද අනේ ඒ?
 
බිරිඳ : අර විරාජ් කියන එකා ආයෙත් අන්න විශුවල් එකක් හදලා, අම්මපා මූ ලැජ්ජාවක් නැති තිරිසනෙක්.
 
සැමියා: හැහ්! ඒ මොකද්ද ඒ?
 
බිරිඳ: බලනවකෝ යූටියුබ් ගිය වෙලවක. ඌ අර කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න හෙක්ටර් බස්නායක මහත්තයට මඩ ගහලා හදලා තියෙන්නේ. ඒ මනුස්සයගේ චරිතේ කාලා, ඒ මඳිවට නවනින්ගිරාවයි ගෑණු ඉන්නේ හෙලුවෙන්.
 
සැමියා: ඒ ඉතින් ඒ මනුස්සයගේ බිස්නස් එකනේ.. ඒ මනුස්සයා හොයාගෙන කන්නේ ඕකෙන්නේ. ඕවා වැඩිය හිතන්න එපා.
 
බිරිඳ: හනේ අම්මපා මේ මිනිහට ජාතිය, සංස්කෘතිය ගැන කැක්කුමක් නැති හැටි. අර මනුස්සයා තමන්ගේ පාඩුවේ කවුරු බැඳගෙන හිටියාම අරූට මොකද. ඒක ඒ මනුස්සයගේ කැමැත්තනේ. එහෙම මිනිස්සුන්ට අගෞරව කරන්න හොඳ නෑ. කොච්චර ලස්සන සිංදුද තියෙන්නේ.. හෙක්ටර් මහත්තයා අපේ රටට වටිනා මණිකක්, මම නම් අද ඉඳන් අහන්නේ හෙක්ටර් මහත්තයගේ ගේ සිංදුම විතරයි බලන්නකෝ බොරු නම්.


ඔහුට කීමට කිසිත් නොවීය. මක්නිසාද අවුරුද්දකට විතර කලින් ඇය විසින්ම හෙක්ටර්ට බැන වැඳුනු අයුරු ඔහුගේ සවන් මත රැව් දෙන්නට විය. කෙසේ වුවත් ඔහුගේ සිතේ කකියන එකඳු පැනයක් විය. ඔහු එය තමන්ගේ සිතින්ම ඇසීය.


හෙක්ටර් විරාජ්ට සල්ලි වත් දුන්නද මේ විදියට විශුවල් එකක් හදන්න???????

Monday, September 25, 2017

නිල් තල්මසා ලංකාවට!!!

             නිල් තල්මසාගේ ක්‍රීඩාව සමාජ ජාල හරහා ප්‍රචලිත වූ අන්‍තර්ජාල ක්‍රීඩාවකි. ලෝකයේ බොහෝමයක් රටවල් වල ව්‍යාප්ත වූ මෙම ක්‍රීඩාව කලකට ඉහතදි අප ආසන්නතම රට වන ඉන්දියාවටද ව්‍යාප්ත විය. මරණයේ අත්දැකීම කෙතරම් සුන්දරද යන්න මේ ක්‍රීඩාවෙහි නිරත වන පුද්ගලයෙකු හට ලැබෙන ප්‍රධානතම අත්දැකීම වේ. ඒ වගේම මේ ක්‍රීඩාවේ යෙදීමෙන් බයංකාර වින්ඳනයන් මෙන්ම, ස්වයං වේදනාවන් විඳීමටද ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබේ. මේ ක්‍රීඩාවේදි, ක්‍රීඩකයා හට අභියෝග 50කට මුහුණ දීමට සිදුවෙන අතර එය ඔවුන් හට සුන්දර අත්දැකීමක සතුට ලඟාකර දේ.


                              මේ ක්‍රීඩාව ඉංදියාව තුළ ප්‍රචලිත වෙත්ම ශ්‍රී ලාංකිකයන්ද මේ ක්‍රිඩාවට ලැඳි බවක් දැක්වූ බව ප්‍රකට කරුණකි. ඔවුන් සමාජ ජාල ඔස්සේ මෙම ක්‍රීඩාව පිළිබඳව සෙවීමේ නිරත වූ අතර මෙය කෙසේ සිදුවෙනවාද යන්න දැනගැනීමට ලාංකිකයින් ඉමහත් ආශාවකින් පසු වූ බවද නොරහසකි. කෙසේ වෙතත් මරණයේ සතුට ලඟා කර දෙන මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ඇතුළු වේ දැයි යන්න පිළිබඳ බියක්ද නොතිබුණාම නොවේ.
                      ඉංදියාවට එන ඕනෑම කුණු ගොඩක් නවමු මුහුණුවරකින් ශ්‍රී ලංකාවටද ඇතුළුවන බව සැවොම දන්නා කරුණකි. ඒ සෑම දෙයක්ම ශ්‍රී ලංකාව තුළට පමිණේමේදී ලංකාවට අනුගත වන අයුරින් ලංකාව තුළ ප්‍රචලිත වීම ඉතාම සිත්ගන්නා සුලු දෙයක් වන අතර, එය ඉතාමත් බුද්ධිමත් අයුරින් සිදුවීමද විශ්මයට කරුණකි( සැ.යු. එය සෑම දෙයකටම අදා නොවේ.).
                        ඉතින් නුඹ දැන සිටියාද නිල් තල්මසාගේ ක්‍රීඩාව ලංකාවට තුළ ව්‍යාප්ත වී ඇති බව. කෙසේ නමුත් දැනටම එම ක්‍රීඩාවේ නිරත වන බොහෝ දෙනා සිටී. එසේ සිටියත් එය සමාජය තුළ තවමත් කතාබහකට ලක්වන තරමට ප්‍රචලිත වී නොමැත.
                        ලංකාව තුළ ව්‍යාප්ත වුණු මෙම නිල් තල්මසාගේ ක්‍රීඩාවේ විශේෂත්වය නම් එය අනෙක් රටවල් වල ව්‍යාප්ත වූ තරඟ ස්වභාවෙයෙන් බෙහෙවින්ම වෙනස් ආකාරයෙන් යුක්ත වීමයි. තරඟ රටාවේ වෙනසක් තිබුණද තරඟය අවසානයේදී ක්‍රීඩකයා බලාපොරොත්තු වන මරණයේ ආශ්වාදය ඔහු හට ලැබෙන අයුරින් එය සකසා ඇත.
                 නිල් තල්මසාගේ ක්‍රීඩාවේ ලාංකික සංස්කරණය තුළ ක්‍රීඩකයා හට තම ශරීරයේ කැපිම් තුවාල සිදු කර ගැනීමට අවස්ථාව ලබා නොදේ. බාහිර කැපීම් වලට අවස්ථාව නොදුන්නත් අභ්‍යන්තර මානසික බිඳ වැට්ටවීම් තුළින් මනස කැපීමට ලක් කිරීම මෙහි ඇති විශේෂයක් වේ. ක්‍රීඩාව කිරීමට පෙර ක්‍රීඩකයාගේ මනසේ ස්වභාවය පරීක්ෂණයකට ලක් කරන අතර, ක්‍රීඩකයාගේ මානසික දුර්වලතා වල පීඩිත බව වැඩිකිරීමක් සිදු කරනු ලබයි. උදාහරණයක් ලෙස : අප සිතමු ක්‍රීඩකයා හට ආදර සම්බන්දතාවයක් තියෙනවා කියලා, ඒ සම්බන්දතාවයේ දුර්වල තැන් පිරික්සමින් ක්‍රීඩාව තුළ ක්‍රීඩකයා දුර්වල මනසක් සහිත පුද්ගලයෙකු බවට පත් කරන අතර ඒ මඟින් ඔහුට ජීවත් වීමට ඇති ආශාව නැති කර දමයි. එමෙන්ම ඔහුට ආදරය පවත්වාගෙන යාමට බාදාවන් සිදු කරනු ලබයි. ඒ සෑම දෙයක්ම ක්‍රීඩකයාගේ මනස මෙහෙයවමින් කිරීම විශේෂයකි.ඉන්පසු මෙම මානසික බිඳ වැටීම් නිසාවෙන් ක්‍රීඩකයා විසිනම් සිය දිවි හානිය කර ගනීමට පොළඹවන අතර එය වීඩියෝගත කිරීමටද උපදෙස් දී ඇත.
                 කෙසේ වෙතත් ලොවම දන්නා ක්‍රීඩාවක ලාංකීය සංස්කරණය මෙසේ සකසා ඇති අතර ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ගේ ප්‍රධානතම ඉලක්කය නම් මානසික පීඩනයන්ට හොඳින් මුහුණදිය හැකි පුද්ගලයෙකු නිර්මාණය කිරීමයි. ලොව ප්‍රකට නිල් තල්මසාගේ ක්‍රීඩාවේ මරණය, අවසාන ජයග්‍රහණය ලෙස සැලකුවත්, ලාංකීය සංස්කරණය තුළ මරණය ලැබීම ක්‍රීඩකයාගේ පරාජය ලෙස දක්වනු ලබයි.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩාවේ නිර්මාතෘවරයා සඳහන් කරනුයේ, කිසිවිටක තම ජීවිතයට ආදරය නොකරන, පීඩිත තත්වයන්ට මුහුණ දීමට නොහැකි දුර්වල පුද්ගලයන්ගේ වෙන් වීම ඉදිරියේ දුක් නොවන ලෙසත්, ඔවුන් හට අනුකම්පා කරන ලෙසත්ය.
              සෑම විටම තමන්ට ආදරය කිරීම තුළින් තමන්ගේ සාර්ථකත්වය, දියුණුව මෙන්ම මානසික ශක්තීය ඉහළ නැංවෙන බව කිව යුතුය. එමෙන්ම වේදනාවන් විඳ දරාගැනීම තුළින් මිනිසා සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු බවට පරිවර්තනය කරනු ලබයි.

Thursday, September 21, 2017

ඒක දිගම දිගයි

                           එදා දවස හරිම දිගයි. කොච්චරක් දිගයිද කියනවා නම් තප්පරයක් ගතවෙන්න ගියා පැයක් විතර. එදා උදේ ඉර පායලා තිබුණෙත් වෙනදා වගේ නෙමෙයි. අව්ව කොච්චර සැරයිද කියනවා නම් මුණ අත පය පිච්චිලා හැම තනකින්ම වතුර ගලන්න පටන් ගත්තා. ඇස් කළු වෙන්න පටන් ගත්තා. මම දැක්කා මගේ සමහර යාළුවෝ අවුවේ සැරට පොළව බදාගන්නවා. 

                 ඉතින් එදා තමයි මම දැක්කේ දිගම සුදු ගවුම් ඇඳගත්ත ළමයි පේලිය. මට ගොඩක් ආඩම්බරයක් දැනුනා. ඇයි දන්නවද? ඒ පේළියේ හිටපු ළමයි 250 අතරේ මාත් හිටපු නිසා. ඒ සතුට කොතෙක්ද කියනවා නම් මගේ දෑස පලාගෙන කඳුළු ආවා. සමහරු හිතුවේ මම අවුවේ සැර නිසා අඬනවා කියලා. ඒත් ඒ කඳුළු ආවේ සතුට වැඩිකමට. ඉතින් එදා තමයි මම ලෝකේ දිගම දිග සාරි පොට දැක්කේ. ලස්සනට වැඩ දාලා මුතු අල්ලලා තිබුණ සාරි පොට පාර දිගේ අල්ලගෙන ඉන්නකොට මටත් හිතුණා මත් කවදා හරි මේ වගේ සාරි පොටක් තියෙන සාරියක් අඳිනවාමයි කියලා.
                              කොහොම වුණත් එදා අපි ගොඩක් සතුටින් හිටියේ ඇයි දන්නවද? එදා ඉස්කෝලේ දවසක් වුණත් අපිට ඉගනගනත් ඕන නෑ නේ. කොච්චර කරදරයක්ද ඉගනගන්න එක. ඒ වගේද සාරි පොටක් අල්ලගෙන පාර දිගේ යන එක. ජීවිතේටම ඉතින් එක පාරයි නේ මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. ලෝකේ දිගම සාරි පොට අල්ලන උත්සවයට ආවා ලොකු ලොකු වාහන වලින් බැහැපු ලස්සන ලස්සන නෝනලා මහත්වරු ඒ අතරේ හිටියා මැති ඇමති වරුත්. එයාලා අවේ AC එකේ කිටි කිටියේ හීතලේ ගල් වෙලා ඉඳලා. එයාලට නම් තිබුණා කලු පාට කණ්නාඩි ඇස් වලට දාගන්න. එයාලට ඉඳගෙන ඉන්න තැන් එහෙමත් හදලා තිබුණේ. ඒත් ඉතින් එයාලට අපිට තිබුණ වාසනාව නම් තිබුණේ නෑ.
                කොහොම වුණත් මට ගොඩක්ම සතුටුයි. ඒ වගේම මගේ යාළුවන්ටත්. මොකද මේ වගේ අවස්ථාවක් පාසල් යන අපි වගේ ළමයින්ට ලැබෙන්නේ නෑ නේ. අපි ගොඩක් වාසනාවන්තයි. නිදහස් අධ්‍යාපනය බුක්ති විඳින අපි වගේ ළමයින්ට මේ වගේ ඉන්න ලැබුණු එක ගැන. සමහර දේශපාලන පක්ෂ වල ඉන්න නිදහස් අධ්‍යාපනය නැති වෙනවා කියලා කෑ ගහන කැම්පස් අයියලා අක්කාලා කැමති නෑ මේ වගේ වැඩ වෙනවට. ඉතින් මම මේ වෙලාවේ එයාලගෙන් ඉල්ලන්න කැමති මේ වගේ දේවල් නිසා පාරට බැහැලා කෑගහන්න නම් එපා කියලා.

පෙම් කිරීම අයිතියකි!

පෙමක් මෝරන හදවතේ එක
තැනක පෙම් මල් පිබිදිලා
මුහුදු වෙරළේ කොණක ඉන්නේ
රූම් නොගිහින් ගුලි වෙලා
කාකි ඇඳුමෙන් සැරසිලා හොට
අනින කාකන් වටවෙලා
ඇයිද ඇණයක් වෙන්නේ පෙම් මල්
සිඹින මල් වල දැවටිලා?


Wednesday, September 20, 2017

වැඩිහිටියන්ට පමණයි (18+)

                             "මෙලොව එළිය දැකීම" හෙවත් නව උපතක් සිදු වීම(දරුවෙකු, නව කලා කෘතියක්,හෝ වෙනත් යමක් විය හැක). මේ අවස්ථාව කිනම් අයුරින් සිදු වුවත් එය සිදු වන්නේ ඇඳුම් නැතුවය. එසේත් නැති නම් නිර්වස්ත්‍ර වය. කෙසේ වුවත් නිර්වස්ත්‍ර අයුරින් නව ඉපදීම සිදු වුවද සමාජයට උචිත, සමාජයට අවශ්‍යය අයුරින් නිර්වස්ත්‍ර බව නැති කිරීම සිදු කරයි. එය පුද්ගලයින් තම ස්වකීය ආශාව මත සිදු කරන ඇඳුම් ඇන්දවීමකි. 


                        කුමන අයුරක නිර්වස්ත්‍ර බවක් දැක්මට කැමති වුවත් ලංකාවේ cult එක ඇතුළේ ඉන්න අය පුද්ගල නිර්වස්ත්‍ර බව දැකීමට අකමැතිය( මුන් පට්ට කැමති ඒත් ඒත් කියන්න කැමති නෑ). පුද්ගල නිර්වස්ත්‍රය පෙනෙන අයුරින් සිනමා කෘතියක් බිහි වුවොත් එය නිල් චිත්‍රපටයකි ( blue film කියන්නේ අන්න ඒවා) පොතක් ලියවුණහොත් එක කියවීමට නිසුදුසු එකකි.ඒවා බැලීමට නම් 18+ විය යුතුය. එසේත් නැත්නම් එය හිර ගත වී දඩ කෑමට සිදුවන බරපතල වරදකි. 
                         ලංකාවේ cult එකට එළිමහන් සමාජය තුළ සිප වැළඳගැනීම් පට්ට ඇලජික් ය. තොල් සිප ගැනීමක් නම් ගල් ගෙඩියකින් ගුටි කෑමට වුවද සූදානම් විය යුතුය. ඒත් ප්‍රසිද්ධ පුද්ගලයින්ට එයට තහනමක් නොමැත. ඔවුන් එය සිදු කලොත් " බලන්නකෝ කොච්චර සුන්දර ද" යන අයුරින් ඇගයීමක් ලැබෙනු ඇත. මුහුදු වෙරළක ප්‍රේමවන්තයින් හට හමු වීමට නොහැක. නිදහස් උද්‍යානයක හමු වීමට නොහැක. කොටින්ම කිවුවොත් පෙම් කිරීමට නම් තහනම්ය.
                             ලංකාවේ ජීවත්වන වැඩිහිටි සමාජය පිටසක්වල ජීවීන් වැනි අරුම පුදුම කොටසකි. ප්‍රේමවන්තයින් යනු ඔවුන් දැකීමට අකමැතිම පිරිසකි. ඔවුන් දකින විට ඒ වැඩිහිටියන් හට ඇතිවන්නේ අහස පොළොව උහුලන්නේ නැති ලැජ්ජාවකි. කොටින්ම කිවුවොත් වැඩිහිටියෝ නම් පෙම් කර නොමැත. නිල් චිත්‍රපට බලා නොමැත.
               ලංකාවේ නිතියත් හරිම අපූරුය. ඉහළ බලපුළුවන්කාර ජඩ දේශපාලන අතකට හෝ අතකොලුවකට ලංකාවේ ඕනෑම තකතීරු අධම ක්‍රියාවක් සිදු කිරීමට හැක. අහිංසක කාන්තාවන්, කුඩා ගැහැණු ළමුන් දූෂනය කිරීමට හැකිය. එසේම ඒවාට නීතියක් නොමැත. කොටින්ම කිවුවොත් ඒ හයිකාරයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බය ය. ලැජ්ජාවට කරුණ නම් එය ය.
                         කෙසේ වුවත් ලංකාවේ නීතියට අනුව දුරකතනයක නිල් චිත්‍රපටයක් තිබීම සෑහෙන්න ලොකු වරදකි. නිල් චිත්‍රපටයක් බැලීම ඊට වඩා ලොකු වරදකි( නීතිය ක්‍රියාත්මක කරන අය නිල් චිත්‍රපට කිසි දිනක බලා නොමැත). එසේ තිබී හෝ බලමින් හිඳ අසු වුවහොත් හිරේ ලැගීමට සිඳුවන අතර බඩ පිරෙන්න දඩ කෑමටද සිදු වේ. ඒ වගේම ආතක් පාතක් නැති සමහරක් මාධ්‍යවේදීන් හට එය පට්ට නිවුස් එකකි. කොටින්ම කිවුවොත් පුවත්පතකට, රූපවාහිනී නාලිකාවකට පට්ට හෙඩිමකි.
              ඉතින් නුඹ සැලකිලිමත් විය යුතුය. නිල් චිත්‍රපට නොබැලීමටත්, පෙම් නොකිරීමටත්. මොකද ඒ බරපතල වැරදි නිසාවෙන් සමාජය ඉදිරියේ නුඹේ රෙදි ගැලවී නුඹ නිර්වස්ත්‍ර වීමට ඉඩ ඇත.

Sunday, September 17, 2017

කිරි ඇතින්නිය

                මේක ටිකක් පරණ පුවතක්. මීට මාස තුනකට පමණ කාලයේදි හබරන ප්‍රදේශයේ සිදු වුණ මෙම සිදුවීම, මිනිස් අයිතිවාසිකම් පිලිබඳව කතා කරන පුද්ගලියින්ට සත්ව අයිතිවාසිකම් පිලිබඳව අමතකවී ගිය සිදුවීමකි. මිනිසුන්ට පමණද ජීවත් වීමේ අයිතිය තිබිය යුත්තේ? නැත්නම් එය ප්‍රශ්නාර්ථයකට පමණක් සීමා වුණු කාරණයක් ද?.



(පුවතක් : හබරන, බස් රථයක ගැටී මියගිය අලි පැටවකු අසල රැඳි සිටි මව් ඇතින්නට පොලිසියෙන් වෙඩි තබා මරා දමයි.)

පුවත මෙතනින් : මව්බිම පුවත්පත

බඩේ රැක වැඩු අනේ දරුවා
සඳේ කළුවරේ පාරේ උන්නා
වසා දූවිලි යකා ඇවිදින්
තලා පොඩිකර මරා දැම්මා


තනේ කිරි තව එරෙනවා ඇඟ
පුරා සෙනෙහස වැඩෙන හින්දා
සමන් ගිරි හිස වඩින දෙවියනි!
පුතා රැක දෙන් මෙන්න වැන්ඳා


හුස්ම හොයමින් රැකලා උන්නේ
දමා යන්නට නොහැකි හන්දා
වනේ මහතුන් අනේ හදවත
සිදුරු වෙන්නට මටත් විද්දා


පපුව පෑරුණේ යකඩ උණ්ඩෙට
නොවේ දරු දුක වැඩුණු හින්දා
පලා බැලුවොත් දකින්නට හැකි
මවක් උහුලන සෙනෙහේ කන්දා
 

Saturday, September 16, 2017

එන්න මේ කොණට

             අකුරු එක දෙක ගැලපලා, හොරෙන් එබිකම් කරන වචන ගොන්නක් කිටි කිටියේ සුදු පාට කොල අතරේ හිරකරලා, ජීවිතේ පුරා පොදි ගහගෙන හිටපු, හති අරින ඒ සිතුවිලි ගොන්නට සුන්දර පාටක්, අගයක් එකතු කරලා, හැදුන දරුවෙකු දෙඅත් මත නැළවෙන සතුට ට හිත ඇතුළේ කෙතරම් ආදරක් පත්තු වෙනවද?

           මේ සාහිත්‍ය මාසය. රට වටේම තියෙන පොත් ගොන්නක් එක තැනකට එකතු වෙලා ජීවිතේ ගැන කතා කරන මාසය. හිතේ හිර කරගෙන හිටපු දුක, සතුට කවි, කතන්දර වෙලා හුස්ම හිර කරවන මාසය. නානාප්‍රකාර විදියට අපූරුවට හඳුන්වා දෙන්න පුළුවන් මාසෙක එක පොතක් වත් අරගෙන කියවන්න පුළුවන් නම් කෙතරම් අපූරුද?

                          එහෙම හිතනකොට ඒක දැන් විලාසිතාවක් වෙලා එක පොදියට පොත් වලට පොරකන, අහස උසට දිවෙන පොත් මිටියක් ගෙදර ගොඩගහගන්න තරඟයක්. ගිය අවුරුද්දේ මතකද? මේ මාසේ ගත්ත පොත් ටික. අන්න උඩුබැලි අතට නිදාගෙන ඉන්නවා ලෑලි රාක්කේ මුල්ලක. හෙමින් ගිහින් කූද්දාලා ආදරයෙන් ලඟට ගත්තොත් උන් ආදරේ කරයි හදවත පුපුරන තරමටම.

                ඒ ආදරේ ලබාගන්න බැරුව කී දෙනෙක් බලාගෙන ඇත්ද මොකද ඒ ආදරේ සෑහෙන්න වටින එකක්. ඒකට මිලක් තියෙනවා, ඒ "ආදරේට" හුස්ම දුන්න උන්ගේ මහන්සියට ගෞරවයක් විදියට. ඉතින් ඒ ආදරේ හොයන එකෙක් ගේ හදවත තෙමා ගන්න පොතක් අරන් දීලා උදවුවක් කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා නේද?

               ඔය සුදු පාට පිටු අතරේ ඉපදෙන්නේ ඇස් වලින් වැටුන හදවතේ පාට. ඒක, එක එකාට එකේක විදිය. ඉතින් කැමති විදියකට ලියන්න පුළුවන්, කැමති දෙයක් ගැන. ඉතින් ඒ ලිවිල්ලට ඇයි වැට කඬුළු? අහස ගැන එකෙක් ලියනකොට, තව එකෙක්ට පුළුවන් පොළව ගැන ලියන්න. ගස් ගැන මල් ගැන අහුවෙන අහුවෙන හැම දේම ගැන හිතේ තියෙන දේ ලිවුවට කාටවත් හානියක්ද? ඒව විඳින්න කැමති හැම කෙනාම( හැබැයි සමහරු නෑ වගේ ඉන්නේ). ඒ ලියනකොට ලිංගිකත්වය, ආගම, නිදහස් දර්ශනය ගැන ලියන්න බැරිද? එහෙම එකේ දුවෙක්ට තමන්ගේ තාත්තා ගැන ලියන්න බැරිද?

                    මේක ඇතුලේ රිංගගෙන ඉන්නේ පුදුමාකාර කුහකයෝ ටිකක්. ගහක මලක් පිපුණත් උන්ට ඒකේ අඩුවක් නම් පේනවා සත්තයි. උන් පට්ට විදියට බැරෑරුම් හැබැයි ගැම්ම කියන එක බිංදුවයි. දේශපාලනේ ගැන නම් උන් තරම් විචාරකයෝ නැති තරම්, ආගම් ගැන වුණත් එහෙමයි, සමාජේ ගැන වුණත් එහෙමයි. අනුන්ගේ සතුට විඳින්න පුරුදු වෙලා ඒ සතුටට ආදරේ කරන්න ඒ අයත් ඉගනගත්තොත්! අන්න සාර්ථකත්වය.

                 ඉතින් උත්සහයක් දරමු, අනුන්ගේ සතුටට ගරු කරන ගමන්, මැරෙන්න කලින් හිතේ තියෙන දේවල් සුදු පාට පිටු අස්සේ හිර කරන්න එතකොට මේ වගේ මාසෙක තවත් එකෙක් උඹත් එක්කම හුස්මගනි.

ආ.. තව දෙයක්, පොත් ලියන උන්ගේ ජාතකේ හොයන්න එපා පොතෙන් ගන්න දෙයක් තියෙයි නම් ගන්න.ඉතින් එන්න මේ කොණට ඇවිත් ආදරෙන් කියවමු.


Friday, September 15, 2017

ඒ අනාගතය අදයි!

                     කොසොල් රජතුමා යනු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ රට පාලනය කල රජ වරයෙකි. දිනක් ඔහු නිදා සිටියෙදි සිහින දහසයක් දකිනවා. ඒ සිහින දහසයම එකිනෙකට වෙනස් වූ අතර, රජ සභාවේ සිටි දක්ෂයින්ටවත් ඒවාගේ තේරුම් රජු හට පැහැදිලි කිරීමට නොහැකි වෙනවා. ඉන්පසු රජතුමා බුදුරජාණන්වහන්සේ හමු වී මේ සිහින පිළිබඳව බුදුන් වහන්සේගෙන් විමසනවා. ඒ සිහින ගැන ඇසීමෙන් අනතුරුව බුදුරජාණන්වහන්සේ විසින් සිහින වල ඇති අරුත් පිළිබඳව මෙසේ දක්වනවා.

මේ එකොළොස්වන සිහිනයයි.

කොසොල් රජතුමා : 
 
" ස්වාමීනී මගේ මේ සිහිනයන අමුතුම ආකාරයේ එකක්. මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වමීනී ඇයි මේ වගේ සිහිනයක් මා හට පෙන්නුම් කලේ."

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලා ගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම සිහිනයේ තේරුම."

Wednesday, September 13, 2017

වැසි ලිහිණි සිනාව
















"පුරා රත් වළා පට
කළු සලුව දවටමින්
සොරා ගෙනවිත් ඉසින්නේ
වැසි ලිහිණි සිනාවකි"

ඵල පුරා මුතු විසිරෙන්න
ළපල්ලක පිණි තැවරෙන්න
පිරෙන නෙත් කැට හිනහෙන්න
මෙරුනි ඇවිදින් ඉගිලෙන්න

පාට නියෝන දිලිසේවි
උයන් සිරියෙන් බැබලේවි
තුරුලු වී තරු ,පහන් කණු යට
දැවී උණුසුමේ ගුලි වේවි

අඳුරු දූවිලි සේදේවි
කාණු පල්ලෙන් උතුරාවි
මැලි කඩා දිග හැරි උඩ පැන
වීදියේ දුක අඩුවේවි

ඇවිත් ගොඩ වී යන්න
සොරා ගත් දේ දී යන්න
අනුන්ගේ සිනාවක් හෙම
එපා නැවතත් ගෙන යන්න

Monday, September 11, 2017

පක්ෂීන් හඳුනාගනිමු

                        ශ්‍රී ලංකාව තුළ සුන්දර පක්ෂින් වර්ග රාශියක් සිටී. ඒ අතර පිළිහුඩුවා යනු ඉතාමත් සිත්ගන්නා සුළු පක්ෂියෙකි. අඳුරු කොළ පැහැයකින් යුතු ශරීරයේ තැනින් තැන නිල් පැහැයෙන් හැඩ වී ඇති ඔවු ඇස් වලට ප්‍රිය වු එක්තරා ආකාරයක බිය දනවන සුළු පක්ෂි වර්ගයකි. මොහු කපටි පක්ෂියෙකු වන අතර, ප්‍රහාරත්මක මෙන්ම තම ආත්මාථය උදෙසා ක්‍රියාකරන පක්ෂියෙකි. ලංකාවේ සුලභව දැකිය හැකි තවත් පක්ෂියෙකු නම්, අප ව්‍යවහාරය තුළ කොකා යැයි හඳුන්න පක්ෂියා කිරි සුදු පැහැයෙන් යුක්ත වන අතර සීලවන්ත බවින් සර්ව සම්පූර්ණ වූ තවත් කපටි පක්ෂී කොට්ඨාසයකි. මොවුන්ගේ කල් ක්‍රියාව හඳුනාගත් පුද්ගලයින් ඔවුන්ගේ ස්වරූපය නියමාකාරයෙන් හඳුනන අතර, මොවුන් සැබවින්ම සුදු රෙදි පොරවාගත් කපටි පක්ෂීන් වර්ගයකි. එමෙන්ම ශ්‍රී ලංකව තුළ තවත් සුන්දර පක්ෂීන් වර්ග දෙකක් සිටී. ඒ අප කවුරුත් හඳුනන සිවුරු හොරා සහ සුදු රෙදි හොරා යනුවෙන් ප්‍රචලිත වු පක්ෂීන් දෙකොටසයි. මොවුන් බොර ආසියා රැහැන්මාරා (Brown Paradise Fly Catcher) සුදු ආසියා රැහැන්මාරා (Indian Paradise Fly Catcher) යන නම් වලින් හඳුන්වන අතර, මොවුන් නිදහසේ ජීවත් වන සුන්දර පක්ෂීන් වර්ගයක් වේ.




                  












                                 



                    
                 අන් අයෙගේ දේ ඒ අයට නොකියා හෝ, බලහත්කාරයෙන් හෝ තමාගේ කර ගන්නා තැනැත්තා හොරා යන ව්‍යවහාරයෙන් හැඳින්විය හැකිය. හොරෙකුට ඕනෑම  දෙයක් සොරකම් කිරීමට හැකිය. ඒ අතර මුදල්, දේපල, වාහන,රත්තරන්,මුතු,මැණික සහ සිත් යන දේ මෙන්ම සුදු රෙදි හා සිවුරු යන දේ ද සොරකම් කල හැක. කෙසේ වුවත් හොරකමකට අනුබල දීම හෝ හොරෙකු වෙනුවෙන් පක්ෂපාතී වීම එතරම් යහපත් කටයුත්තක් නොවන අතර හොරෙකුට දඬුවම් ලැබිය යුතුමය.  එහෙත් වර්තමාන ලංකාව තුළ ඇති විලිලැජ්ජා නැති ක්‍රියාව නම් හොරෙකුට අනුබල දී ඔවුන්ගේ ගුණ ගැයීමයි. එය ගිහි පැවදි දෙපාර්ශවය විසින්ම කරනු ලබයි. 
              අතීතයේ සිට බෞද්ධ භික්ෂුවක් යනු මොනයම් හෝ වැරදි ක්‍රියාවකට අනුබල නොදුන් අයෙකු වේ. කෙසේ වෙතත් වර්ථමානයේ එය වෙනස් වී සමහරක් භික්ෂුන් හොරුන්ට අනුබල දීමේ කටයුත්තේද යෙදී සිටින්නේ තමන් යහපත් යැයිද, සීලවන්ත යැයිද, විනය රකින අයෙකු යැයිද යන සේ පෙන්වා බෞද්ධ ජනතාවගේ සිත් සොරකමේ යෙදීමෙනි (සිත් සොරකම් කිරීමද සොරකමකි).එය සමාජයේ සිටින කීප දෙනෙකු විසින් කරනු ලබන කටයුත්තකි.කෙසේ වෙතත් සුදු රෙදි හා සිවුරු හොරුන් කවුරුන්ද යන වග තීරණය කිරීමට අපට බාරය.

Sunday, September 10, 2017

සිල්පරන් පිහිටයි !


                          ඒ නුඹලා නොදකින දුකයි.අපිට ලැබුණ ඒ ජීවිතේ කියන එක මොවුන්ට නම් තාම ලැබිලා නෑ, ඉතින් මොවුන් තාමත් ජීවිතේ කියන එක හොයනවා කවදා හරි හමුවේ යැයි තියෙන බලාපොරොත්තුවත් හිතේ තියාගෙනම. හෙට ගැන මහ ලොකුවට බලාපොරුත්තුවක් නැති වුණත් අද දවසේ ජීවිතේ ගැටගහගෙන සතුටින් නිදා ගන්න මොවුන් හීන මවනවා ඒ දවල් වරුවේ කීයක් හරි හොයාගෙන. ජීවිතේ එපා වෙලා කොච්චියට බෙල්ල තියන සමහර අය අතරේ මේ ලෑලි අටවපු මන්දිර ඇතුලේ ඉන්නවා ඇති හෙට දවස ගැන හීනයක් ඇති සුන්දර තරුණ හිත් ටිකක්. ඒ මේ හිත් ගැන. 




















වැහි බිම විසිරි පව් සේදෙන කල
හෙන පුපුරනවා හිත අස්සේ

ඉහිරෙන කඳුලක තෙත නෑ දැනුනේ
අව් සැර නොගැටෙන ඇස් අස්සේ

සිල්පර නුහුලන ලේ වැගුරුණු තැන
ගවුමක ගිලිහුණු මල් ඇත්තේ
නොවටින ඒ මල් ගැන ලියවෙන කවි
දුක් උහුලන නුවරට නැත්තේ

හූ හඬ අහගෙන උදේට ඇහැරින
කම්මැලි කුරුලනි ගේ අස්සේ
තප්පර කටු කුමකට කැරකෙන්නද?
නොදැනේ රැය දහවල මැස්සේ

කිලිටි අහස් උකුලක සුව නිදනා
කිරි බිඳු උරමින් ලැම මැද්දේ
හෙට පළඳින රන්මිණි ඔටුනක හැඩ
කතරක මිරිඟුවකිනි දැක්කේ

මාල හතක පිත්තල කැටයම් හැඩ
බර වැඩි වී මව් හිත අස්සේ
මල්වර වී ගෙදරට වුණ දා හිත
තනි වී දැවුණා ලිප අස්සේ

Tuesday, February 14, 2017

වැලන්ටයින් කේක් ගෙඩිය

                                 පිටි, සීනි, බිත්තර සහ බටර් මේ දේවල් එක්කර ගනිමින් රසවත් කේක් ගෙඩියක් සාදා ගත හැක. මෙයට අපි බටර් කේක් යැයි නම යොදමු. ඒ මෙය බටර් රසැති නිසාය. බටර් කේක්..!! ලංකාවේ මිනිසුන්ගෙන් බහුතරක් හෝ සියල්ලම බටර් කේක් රස නම් නොදන්නවා වීමට නොහැක. මක්නිසාද යත් එක් වරක් හෝ එම රස විඳ ඇත. බටර් කේක් මිශ්‍රණයකට චොකලට්, වැනිලා යන ආදී වූ විවිධ රසකාරක යොදාගනිමින් කේක් සෑදූකල ඒවාට අනුරූප විවිධ වූ නම් ඇත. එසේම බටර් කේක් ගෙඩියට විවිධ වර්ණ යොදාගනිමින් අයිසින් තට්ටුවක් යොදා සෑදුකල එය අයිසින් කේක් ගෙඩියකි. එම අයිසින් කේක් ගෙඩිය, ලස්සනය, හැඩය, ප්‍රියමනාපය. මේ ඒ අයිසින් කේක් ගෙඩිය ගැන කතන්දරයයි.


                                                                 
                                                    එසේ ගත්කල හදවතක හැඩයට කපාගත් බටර් කේක් ගෙඩියක් ගනිමු. එයට රතුපාටින් වර්ණක එකතුකර අයිසින් සාදා කේක් ගෙඩියේ ලස්සනට තවර ගනිමු. මෙයට අප වැලන්ටයින් කේක් ගෙඩිය යැයි නම යොදමු.හරිම අපූරුය, රතු පාටට කේක් ගෙඩිය හරිම ලස්සනය, දැක්කම ආදරය හට ගන්නේය. හැබැයි හැමදාම එකම රසය ඒ බටර් රසය, ඒ රස ලොකු කුඩා සෑවොම හඳුනන රසයකි. එහෙත් ඊට උඩින් තවරා ඇති රතුපාට ස්යිසින් තට්ටුවේ නම් මෙලෝ රසක් නොමැත කෙසේ වෙතත් බහු ජාතික මොළ ඇත්තෝ නම් එයට කැමතිය.
                                                       එක් වර්ෂයක් ගත් කල, එම වර්ෂයට අදාල නිශ්චිත ඇජෙන්ඩාවක් ඇත, එහි විවිධ දින, විවිධ මතෘකා වලට වෙන් කර ඇත. වැඩිහිටියන්ට එක් දිනයක් ඇත, ළමයින්ට තවත් දිනයක් ඇත, අම්මට එක් දිනේකුත්, තාත්තට එක් දිනේකුත් වශයෙන් නාන්ප්‍රකාර දින ඇත. ඒ දින විවිධ අයුරින් ෆැන්ටැසියකට හිර වෙමින් රැළ්ලට සමරන්නෝද නැත්තේමද නැත. මෙහෙම දින වලට වෙන් කර ඇති ඇජෙන්ඩාවක් සහිත වර්ෂයකට පේමවන්තයින්ටද දිනයක් වෙන්කර ඇත. එය මරු දිනයකි. මෙයට වැලන්ටයින් කියා ලස්සන නමක්ද යොදාගෙන ඇත. මේ දිනය නම් හරි අපූරුය. මාකටින් කාරයින්ට නම් කල්ල මරේය.
                                   මේ දිනයට පාටකුත් ඇත. එය රතු පාටය. ඒ හදවතින් ගලන ලේ රතු නිසා විය හැක. වැරදිලාවත් ලේ රතු නොවී කළු වූවා නම්, වැලන්ටයින් දිනයට අදාල පාට කළු විය හැක. එය එසේ වූවා කියලා වරදකුත් නැත කළුත් ලස්සන පාටක්ය. වැලන්ටයින් සීසන් එක නම් මරුය. " ආදරණීය සාප්පු(Lovers) " රතුපාටින් හැඩ කර ඇත. රතු රොස මල් එල්ලා ඇත. රතු පාටින් ඇති හදවත්ද තැනින් තැන එල්ලා ඇත. හරිම ආදර්ණීයය.
                            දැන් නම් පේමවන්තයින්ගේ සිත් උන්මාදයට පත්වී ඇත. සැම තැනම ආදරය ගැනය. හරියට ප්‍රේමවන්තයින්ගේ අවුරුදු සමයක් වගේය. ඔවුන් හරිම සතුටින්ය. වැලන්ටයින් දවසට කළ යුතුදේ ප්ලැන් කරන්නේය (බීච් යනවද,රූම් යනවද නැත්නම් වෙන කොහේ හරි). තම ප්‍රේම වන්තයාට ගත යුතු තෑග්ගත්, තම ප්‍රේම වන්තියට ගත යුතු තෑග්ගත් සිතින් මෙනහි කරන්නේය. ඉතින් මෙය නම් ඔවුන්ට කදිම කාලයකි.
                              මේ කාලයෙදී ඉවෙන්ට් ප්ලැනස් (Event planers) ලටත් කදිම කාලයකි. ඔවුන් ප්‍රේම වන්තයින්, ප්‍රේම වන්තයන් එක් තැනකට කොටු කර ගැනීමට විවිධ උපක්‍රම යොදන්නේය. විවිධ තැන්වල පාර්ටිය. ඒවගේ ඩීජේ මියුසික්, තව ඔවුන් වෙනුවෙන් සන්විධානය කල විවිධ තරඟ, සහ විවිධ දෑ බොහෝය. එක් අයෙකුගෙන් ඇතුළ්වීමේ ගාස්තු වශයෙන් අවම රුපියල් දහසක් ලබාගන්නේය. මාර්කටින් නම් එසේය. ඒ මේ අතරේ ඔවුන් ප්‍රේම නොකරන්නන්ද මඟ හැර නොමැත. ඔවුන් වෙනුවෙන්ද "ඇන්ටි වැලන්ටයින් ඩෙයි පාර්ටි(Anti Valentine Day Party )" ලෙසටද විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. ඒවාද යෙදී ඇත්තේ වැලන්ටයින් දවසටම වීම විශේෂ කරුණකි. ඒවාද පිනට නොපවත්වන අතර ඇතුළත් වීමට නම් මුදල් ගෙවිය යුතුමය. එසේනම් මාකටින් නම් මෙසේය. කෙසේ වුවත් මේ සෑම මාකටින් උගුලකටම ප්‍රාථමික අවධියේ බහු ජාතික මානසිකත්වයක් ඇති ප්‍රේමවන්තයින් අසුවී හමාරය. 
                                                     එසේ නම් පෙර අප කියූ රතුපාට හදවත් හැඩති මෙලෝ රසක් නොමැති වැලන්ටයින් කේක් ගෙඩිය ඔවුන් කා හමාරය. බලාගෙන ගියාම එහි ඇති වරදකුත් නැත. මක්නිසාද තමන් කැමති දෙයක් කිරීමට තමන්ට අයිතිය ඇති බැවිනි. නමුත් තමන්ට පිනට ලැබී ඇති මොළය ටිකක් භාවිතා කලා කියා එය ගෙවෙන්නේද නැත. බහුතරයක් මේම මාකටින් රැල්ලට හසු වන්නේ ප්‍රථමික අවධියේ ප්‍රේමවන්තයින් ය. ඒ ප්‍රේමයදි ඔවුන් බොළඳ නිසාය. මිනිසුන් බොළඳ වෙන තරමට මාකටින් කිරීම පහසුය. ඉතින් මාකටින් කරුවන් බොළඳම අවස්ථාවෙන් ලබාගත යුතු ඉහළම වාසිය ලබාගෙන ඇත. එය අනාගතයේදිත් එසේමය. ඉතින් සිතින් සිතා වැඩකටයුතු කිරීමට හැකි නම් අගනේය.

Thursday, February 2, 2017

අවදානය.! මේ ඔවුන් ගැන.

              උපන් දා සිට දේමාපියන් වෙහෙස වන්නේ තම ලමයින්ට ඉගැන්වීමටය. එය ඔවුන්ගේ එකම සහ අවසාන පැතුමය. එම නිසාවෙන්ම දෙමාපියන් විසින් ලමයින්ට ඉගනීමට අවශ්‍ය සියළුම දේ මෙන්ම, ඔවුනට අවශ්‍ය පහසිකම් කෙසේ හෝ සැපයීමට සැදී පැහැදී සිටින්නේය.
                                           ලාංකික සමාජය තුළ තට්ටු පිට මාලිගා සැදූ, රොද හතරක වාහන වල හිමිකාරිත්වය ඇති ඉතාමත් ධනවත් ජීවිත ගත කරන සමාජ කොට්ඨාශ නැති තරම්ය. එහෙව් වූ සමාජයක බහුතරයක්, ඔවුන් තම ලමයින්ට උගන්වන්නේ කුළී වැඩ කරමින්ය, අනුන්ගේ වත්තක තේ දළු කඩමින්ය, රබර් කිරි කපමින්ය එකී  නොකි බොහෝ තෙවන පන්තියේ රැකියා වල නිරත වෙමින්ය. රජයේ සේවයේ නියුක්තව සිටියද ඔවුනට මාසය අවසානයේ ලැබෙන දෙයක් නැත. කෙසේ වෙතත් ඔවුන් රටට ලෝකයට ණය වෙමින් තම ලමයින්ට උගන්නන දගලන්නේය ඒ ඔවුන් සිටින තැනට වඩා පියවරක් හෝ තම ලමයින් තබන විශ්වාසය සිතේ තබා ගනිමින්ය.
                                    ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු සා.පෙළ,උ.පෙළ හැදෑරීමෙන් අනතුරුව සැමගේම පැතුම උසස් අධ්‍යාපන ලබා ගැනීමය. එය එසෙ වුවත් උසස් අධ්‍යාපනය පිණිස රජයේ විශ්ව විද්‍යාලයකට යාමට සෑම කෙනෙකුටම අපහසුය, සමහරෙක් උ.පෙළ සමත් වුවත් ඔවුනට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යාමට නොහැකිය. එසේ වූ කල්හි, සල්ලි ඇත්තන්ගේ ලමයින් පෞද්ගලික උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට පෙළඹෙන අතර එය හේලා දැකීමට තරම් මා කුහක නොවෙමි, මක්නිසාද යත් මා හට මුදල් තිබුණා නම් මා ද ඔවුන් සේම අධ්‍යාපන ලබාගන්නා බැවිණි.
                                        කෙසේ වෙතත් ගණිත අංශයෙන්, වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ සමත්  වූවන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල නොමැති වුවත් ඔවුනට යාමට එක් මාර්ගයක් සකස් කර ඇත. එය, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව, උසස් ජාතික ගණකාධිකාරක ඩිප්ලෝමාව හා තවත් පාඨමාලා කීපයකින් සමන්විත වන්නකි.මේ ඒ ගැන කතන්දරයකි.
                      ඊයේ එනම් 2016.02.02 වන දින ශිෂ්‍ය උද්ගෝෂණායක් හා පා ගමනක් ගාල්ල, ලබුදූව උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිට කරාපිටිය දක්වා යෙදී තිබුණේය. එහි ඔවුන්ගේ සටන් පාඨ ලෙස තිබුණේ තම ආයතනයට නේවාසිකාගාර පහසුකම් දෙන ලෙසත්, මහපොළ වාරිකය 1250 වන වාරිකය 5000 තෙක් වැඩිකර දෙන ලෙසත්, එය කඩිනමින් තමන්ට ලබා දෙන ලෙසත්ය. මේ ඉල්ලීම් සැබවින්ම මේ වනවිට තම පහළොස්වන සංවස්සරය සමරමින් සිටින්නේය. ඒත් තවමත් ඒ ඉල්ලීම් ඉපදුන තැනමය. කෙටියෙන් කියූ කල තවම ඒ ඉල්ලීම් ඉෂ්ඨ කර නොමැත. ඒවා ඉෂ්ඨ කිරීමට රටක් වසන පාලකයින් හට තවමත් සිතී නොමැත. මා හට හැගෙන පරිදි නම් පාලකයින් අඳ ගොළු බිහිරි තත්වයේ සිටින බැවින් ඔවුන් හට මෙම ඉල්ලීම් ඇසේන්නේ වත් පෙනෙන්නේ වත් නැත.







                                       බොඩිමක නවාතැන් ගෙන සිටියත් බෝඩිම් කුළිය ලෙස 3000ක මුදලක් මසක් අවසානයේ ලබා දිය යුතුය. එහෙත් මහපොළ වාරිකය 1250කි. එයද ලැබෙන්නේ සිසුන්ගෙන් 100කට නොවැඩි පිරිසකටය අනෙක් අයට එය වත් නොමැතිය. රාජ්‍ය සේවයේ යෙදෙන්නන් ගේ ලමයින එය එය ලැබෙන්නේම නැත. ඔවුන්ට ලැබීමට සුදුසු කමක් වත් නොමැත. රාජ්‍ය සේවකයින් නොකා ලෙවකන බව මාද අත්දැකීමෙන් දන්නා කරුණුකි. ඔවුන්ට ඇති යමක් නොමැත ඇත්තේ නම පමණකි. කෙසේ වෙතත් 1250ක මුදලක් මසක් සඳහා තුන්වේලක් කෑම සඳහාද ප්‍රමාණවත් නොවේ. ඒ හෙයින් එහි සිටින සිසුන් හට දිනක මන්දපෝෂණය සෑදෙනවා නොඅනුමානය මක්නිසාද යත් ඔවුන් වේල් තුනම කෙසේ වෙතත් එක වේලක් වත් නොකන බැවිනි.
                                 ඔවුන් නේවාසිකාගාරයක් දැනැට අවුරුදු පහළොවක් තිස්සේ අයදින ඉල්ලීමකි. කෙසේ වෙතත් එම ඉල්ලීම ගැන පුටු රත් කරමින් සිටින පාලකින් හට ගානක් වත් නොමැත. ඔවුන් සිතනුයේ තම මඩිය තර කර ගැනීම ගැන පමණක් වීම දුකට කරුණකි. නේවාසිකාගාර ඉල්ලීම ඉටු කිරීම තුළින් ඔවුන් හට යටින් ගානක් ලැබෙනවානම් ඔවුන් අද ම නේවාසිකාගාරය සෑදීම අරඹණු ඇත.

                                                 ඊනියා විශ්වවිද්‍යාලයකට යාමට හැකියාව නොතිබුණත්, කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබාගැනීම පිණිස ලබුදූව උසස් අධ්‍යාපන ආයතනයට තම දරුවා එවූ දෙමාපියන්ද අසරණ වී ඇත ඒ මක් නිසාද යත් තම දරුවා හට මාසකට අවම වශයෙන් රුපියල් 5000ක මුදලක් වත් ලබා දිය යුතු බැවිණි. මා හට හැගෙන පරිදි ඔවුන් මුද්ල් එවනු ඇත්තේද නොකා නොබීය. එහි රජමාලිගා වල සිට පැමිණි එක් දරුවේක් හෝ නොමැත සෑවොම කුඩා රජයේ සේවකයෙකුගේ හෝ කුලී වැඩ කර දවස ගැටගසා ගන්නා දෙමාපියන්ගේ දරුවන්ය.

                                          මිනිසෙකුට හදවතක්, මනසක් ලෑබී ඇත්තේ තව කෙනෙකුගේ දුක තේරුම් ගැනීමටය එහෙත් මෙහි සිටින පාලකයින් හට හදවත සහ මොළය ලැබී ඇත්තේ තම මඩිය තර කර ගැනීම පිණිස සැලසුම් සකස් කිරීමටය. ඔවින් සිසුන්ගේ වත්, දෙමවුපියන්ගේවත් දුක නොදන්නේය. එය සැබවින්ම දුකට කරුණකි. කෙසේ වෙතත් තම ඉල්ලීම් ලැබෙන තෙක් ඔවුන් අඛණ්ඩ අරගලයේ යෙදෙනු ඇත, පාගමන් යනු ඇත, තම ඉල්ලීම් ඉටු වන තෙක් පසු නොබසිනු ඇත. ඒ ඔවුන් හට හදවතක් සහ මොළයක් ඇති බැවිනි. ඔවුන් දුක කුමක්ද යන වග හොඳින් හඳුනන බැවිනි. එබැවින් දිනක ඒ අරගලමය ජය ගනු ඇත.