Thursday, October 5, 2017

දැන් පව්කාරයින්ට කෙසෙල්ගෙඩි ද?

                                 යුද්ධය යනු දෙපිරිසක් අතර සිදුවන් ගුටි බැට සහ වෙඩි හුවමාරුවකි. බල තණ්හාවේ උච්චතම අවස්ථාවේදි යුද්ධය හට ගන්නා අතර එය අතීතයේ සිටම පැවත එන්නකි. වර්තමානයේදී නවීන අවි ආයුධ භාවිතා කලද අතීතයේ යුද්ධයකදි ගල් ගෙඩියද ආයුධකි. බයිබලයේ සඳහන් වෙන්නේ පව් කාරයට ප්‍රථමයෙන් ගල් ගසන්න කියාය. එහෙත් පව් නොකල අයෙකු සෙවීමට වඩා නොමල ගෙයකින් අඹ ඇට සෙවීමට පහසු ය.
                 බල තණ්හාවේ උච්චතම අවස්ථාව විවිධ ස්වරූපයෙන් හඹා එන්නේ ගොනා පසු පස එන කරත්තය සේය. ජාති ආගම් බෙදා ගන්න බැරුව හංදි ගානේ මරා ගත් උන් පස්සෙ කිවුවේ සුළුතරේ එකා ත්‍රස්තවාදියා කියා ය. ඉන්පසු ත්‍රස්තවාදය තුරන් කර සාමයේ සුදු නෙළුම පිඹිදෙන්නට යුද්ධයේ අවි අමෝරාගෙන සටනට ගියේ රට වෙනුවෙන් ය. ඔවුන් පැවසූයේ එසේ ය.
                             සමූල ඝාතන හෙලා දකින නිදහස් සංගම් වලට වැලි ගසමින් මුහුදේ මාළුන් සිය ගණනක් එක පොදියට මැරුවේ අලුත් මාලු නම් රසයි කියමින් ය. කුකුල්ලු, ඌරෝ, එළුවෝ සංහාර පිටින් ඝාතනය කලේ දිව කට පිනවමින් ය. බුරුතු පිටින් සතුන් මැරෙනකොට හරකා මැරෙන එක වාවගන්න බැරිව හඬන උපාසකයින්ද නොසිටියේම නැත. "ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලබයි" බෞද්ධ දර්ශනයේ එසේ කියූවත් ධර්මය රැකීමට අතට ගත්තේ කුරුඳු පොලුය.සතුරාට ප්‍රේම කරන්න කියා ආදරයෙන් කියන විට මිතුරාගෙන් ගේම ඉල්ලුවේ මිතුරන්මය. යුද්ධය නම් එය ය.
                               නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි මොකද කියා තණ්හාවෙන් තමාට අවශ්‍යය නැති දේත් බදාගෙන්න හුරු වුණ සමාජයක මුදලට කෑදර වූයේ අතීතයේ සිටම ය. බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි නේ කියන අය හැල්මේ දුවන සමාජ රටාවේ අතරමං වී අන්ත අසරණ වී ඉන්නකොට සසර නම් තව සෑහෙන දිග ඇති කිවුවේ නොදන්නා කමට ය. සල්ලි වලට "අම්මා අප්පාවත් විකුණන කාලේක වෙන වෙන අය විකුණන එක නම් කජ්ජක් ද " යන දේ තේරුම් ගන්න බැරුව පව් කාරයින්ට ගල් ගසන්න හැදුවේ තවත් පව් කාරයින් විසින්‍ ය. යුද්ධය නම් එසේය.
               හෙළුවක් දැක්කාම විලි ලැජ්ජාවේ ඇඹරෙන අයියලා ඉන්න රට ලංකාව නොවීම සතුටක් ය. එයාලා හරිම සංවරය.මල් වගේම ය. ඔවුන් රහසින් වත් පව් නොකරන අය වූ අතර ධර්මයට හරි ලැදිය. සංහිදියාවට අකමැතිය. රැල්ලට හරි කැමතිය. ඉතින් ඔවුනට රැල්ලේ පාවෙන විට චූන් ය. රැල්ලේ පාවෙනා විට ඔවුනට කෙතරම් චූන් ද කියනවා නම් පව්කාරයට ගසන්නේ කෙසේල් ගෙඩි වලින්‍ ය. එහෙම අයත් බහුතරයකට වීරයන්‍ ය. යුද්ධය නම් එසේය.
                යුද්ධය කොතරම් ප්‍රචණ්ඩ ද කියනවා නම් සාමාජාවාදයේ පරම පිවිතුරු අදහස් ඔලුවේ පුරවාගෙන ඉන්න ශිෂ්‍ය දේශපාලනය තුළද ගැටුම් ඇති වූයේ බල තණ්හාවේ උච්චතම අවධියේ ය. එම නිසා ඔවුන හා  එක වහලේ යට සිටි හැම එකාටම එක වගේ සැලකූයේ පරිවාසයේ බැජ් ෆිට් එක දෙපොළින් යන්නට ය.ඉතින් යුද්ධය නම් එසේය.

No comments:

Post a Comment