Monday, September 26, 2016

බයිසිකලේ...
















උඹේ හෙවණට බර වෙලා
ජීවිතේ උස මැදුරු තැනුවා
පස්සේ උඹ ලඟ නැවතිලා
හිතේ ඇති දුක් සතුටු කිව්වා...

පිපුණු කරගැට දියවෙලා
උඹේ ලඟ මා තනි වෙලා
ආ ගමන් මඟ මගේ තනියට
උඹත් දැන් අසරණ වෙලා...

උඹේ සෙනෙහස ලැබූ මාගේ
දරුවෝ ටික දැන් උස් වෙලා
උන් ඉන්නේ දැන් ඉහල තැන් වල
උඹේ කරපිට දුන් නිසා...

තාර පාරට වැටුනු අව්වට
උඹේ සෙනෙහස වැඩි වුණා
මගේ වෙහෙසට උඹේ කරපිට
දුන් නිසා මා රජ වුණා...

ලිවුම් පත් මිටි ගොඩළි ගහගෙන
පැය දවස් සති ගතවුණා
ඉහල තනතුරු පුටු ලැබෙද්දිත්
උඹ මගේ ලඟ හිනහුණා...

පාට කළු සුදු ජීවිතේ උස
උඹේ ලඟ හිඳ වැටහුණා
වෙහෙස ගත සිත මහළු වෙද්දිත්
මා උඹේ ලඟ නැවතුණා...



Saturday, September 17, 2016

දැක්ම ( The Interview )


අද දැක්මත් සමඟ එකතු වන්නේ වෛද්‍යවරයෙක්, මේ අප ඔහුත් සමඟ කල කතාබහකි.

ඉතින් වෛද්‍යතුමනි, කොහොමද මේ දවස් වල වැඩකටයුතු එහෙම.

ම්ම්..මේ දවස් වල නම් ටිකක් කර්යබහුලයි, මොකද මහත්තයෝයෝ... මේ දවස් වල රෝගීනුත් වැඩියි. ඒ වගේම ගොඩක් වෛද්‍යයවරුත් ලෙඩ නිවාඩු දාලනේ ඒක නිසා වෙනදට වඩා වැඩ වැඩී මට නම්.

 
ඇයි වෛද්‍යතුමනි, වෛද්‍යයවරු ලෙඩ නිවාඩු දාලා කිවුවේ මේ දවස් වල මොකක් හරි බෝවෙන රෝගයක් වත් තියෙනවද?

නෑ නෑ මහත්තයෝයෝ... දන්නැත්ද ඉතින් එයාලටත් තියෙනවනේ විසඳා ගන්න බැරි ප්‍රශ්න. මම නොකිවුවට ඉතින් දන්නවනේ ඔබතුමා.

 
ආ ඒ ප්‍රශ්න ගැනද කිවුවේ ඔබ තුමා. එතකොට වෛද්‍ය තුමනි ඔබ තුමට ඒ ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍ය නැත්ද?

ඔබතුම කියූ දේ මට පැහැදිලි මදි, ඒ ප්‍රශ්න කිවුවේ?

 
මම මේ කිවුවේ, තීරු බදු රහිත වාහන පිළිබඳ ප්‍රශ්න එතකොට ඔය වෛද්‍ය වරුන්ගේ ළමයින්ව ඉහළ පන්තියේ රජයේ පාසල් වලට ඇතුළත් කර ගැනීම වගේ ප්‍රශ්න.

අනේ නෑ මහත්තයෝ මම ඔය වගේ දේවල් ගැන වැඩිය හිතන්නේ නෑ නේ. මට කාර් එකක් තියෙනවා ඒක මට මදෑ මටයි මගේ පවුලේ කට්ටියටයි ගමන්ක් බිමනක් යා ගන්න. එතකොට මගේ ඔය ළමයි දේන්නා ඉන්නවා නේද, අපරාදේ කියන්න බෑ හොඳඳ...ට ඉගනගන්නවා.
පන්තියේත් ඉතිනෙ පළවෙනියා දෙවනියා වෙනවනේ මහත්තයෝ ඊටත් මහත්තයෝ දක්ෂයා කිහේ හිටියත් දිනනවා ඒකේ කිසි සැකයක් නෑ, මොන පාසලට ගියත් එකයි ඉතින්.

 
එතකොට වෛද්‍යතුමනි ඔබතුමා කැමති නැත්ද දරුවන්ව රජයේ ඉහල පාසලකට ඇතුළත් කරන්න.

මහත්තයෝයෝ... ඉහල පාසල් කියලා වර්ගයක් නෑ ඇත්තට්ම. ඕවා තම තමන්ගේ වාසියට හදාගත්ත දේවල් නේ, මහත්තයෝ මම කලින් කිවුවා වගේ දක්ෂයා කොහේ හිටියත් ඉහලට යනවා අයේ ඒකේ දෙකක් නෑ. හැබැයි වාසනාවත් ටිකක් විතර ඕන, ඒත් දක්ෂයාට පුළුවන් අවාසනාවත් වාසනාව කර ගන්න ඒක ඉතින් තියෙන්නේ තමන්ගේ උත්සහය මත තමයි. ඒක මේ සම හරක්ට තේරෙන්නේ නැති එකනේ තියෙන්නේ.

 
එතකොට වෛද්‍යතුමා මොකද හිතනේ පුද්ගලික විශ්වවිද්‍යාල ගැන.

මට නම් ඒකේ ඒ හැටි වරදක් පේන්නේ නෑ මහත්තයෝ.

 
ඇයි ඔබතුමා එහෙම කියන්නේ.

කොයි ළමයත් කැමතිනේ මහත්තයෝ ඉගෙනගන්න හා නැත්ද? කොයි ළමයත් කැමති හොදට ඉගෙන ගෙන රැකියාවක් කරලා හොඳින් ඉන්න.


එතකොට වෛද්‍යතුමා අඩු ලකුණු අරගෙන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙලා ඔහු හෝ ඇය අනාගතයේ වෛද‍යවරයෙක් වුනාම අනාගතය ගැන තැතිගැන්මක් නැත්ද ඔබතුමාට, එතකොට මේ දවස් වල රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් ඇයි මෙච්චර කෑ ගහන්නේ.

මහත්තයෝ මට කියන්න ඔබතුමා, උසස් පෙළ අසමත් වැන හැමෝම අදක්ෂයොද? සමත් වෙන හැමෝම දක්ෂයොද, නෑ නේ උසස් පෙළ කියන්නේ තරඟ විභහගයක්, ඒකෙන් තීරණය කරන්න බෑ දක්ෂ අදක්ෂ බව. ඒක නිසා යම් කෙනෙක් තව දුරටත් ඉගන ගන්නත් කැමති නම්, ඒත් රජයේ විශ්ව විද්‍යාල සුදුසුකම ලැබෙන්නෙත් නැත්නම්, පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගන්න එකේ වරද මොකද්ද මහත්තයෝ. ආසව නිසා ඉගන ගන්නවා, ආසව වැඩි නිසා උනන්දුව වැඩි වෙනවා, එතකොට මොකද වෙන්නේ තමන් ඉගන ගත්තේ පුද්ගලික විශ්ව විද්‍යාලයකින් වුවත් සාර්ථක උපාධියක් ලබා ගන්න පුළුවන්. උපධිය ලබා ගත්තා වුණත්, රජයේ වේවා, පුද්ගලික වේවා, කෙසේ වුවත් අවසානයේ රැකියාවේ යෙදෙන්නේ සාර්ථක වෛද්‍යවරයෙක්. අසාර්ථක කෙනෙක්ට රැකියාවක් ලබා දෙන්න කවුරු වුනත් කැමති වෙයිද මම නම් හිතන්නේ නෑ, මම කලින් කිවුවා වගේම මොන විශ්වවිද්‍යාලයේ ඉගන ගත්තත් අවසානයේ ජය ගන්නේ දක්ෂයා.


ඉතින් වෛද්‍යතුමා ඔබතුමගේ අනාගත සැලසුම් එහෙම මොනවද? අපි කැමති ඒ පිළිබඳත් දැනගන්න.

විශේෂ දෙයක් කියලා නෑ මහත්තයෝ, කරන දේ හරියට කරලා ජීවත් වෙනවා. අවසානේ කොහොමත් අපි කවුරුත් මැරෙණවනේ මහත්තයෝ.




 
එසේ නම් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි අපිත් සමඟ එකතු වුනාට අවසාන වශයෙන් ඔබතුමාට කියන්න දෙයක් තිබෙනවද?

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබටත් ස්තූතියි කියලා තමයි.





සැ.‍යු. මෙම සාකච්ඡාව මනක්කල්පිත සාකච්ඡාවක් බව සලකන්න.


Wednesday, September 14, 2016

විසාදය..























නිමිත්ත : සිපිරිගෙදරදි, තමා බැලීමට ආ බිරිඳට කියූවක්.

මහ ගෙදර දොර ලඟට
හෙමි හෙමින් පා ගැටී
ගොඩ වෙන්න බය නැත්ද
තනිව මඟ සිත් රැඳි...

ලපටි නිය ඇඟිලි තුඩු
කොස් වහළු රැළි වැටී
නීල කළු පිල් කලඹ
දුඹුරු මලකඩ පැහැ වැටී...

ගෙදර ලඟ ගල් වලේ
ගල් පුසුඹ ඇඟ වැදී
නුඹේ ලඟ මට දැනෙන
ගැහැණු ගති දැන් නැතී...

ගෙදර බර, බර වැඩිද
උරිස් මත දැන් ඇති
දුවත් ගෙට වෙයි ලඟදි
තවත් වැඩ බර වැඩි වෙති...

ලාඩප්පා පොළු සැරට
පිටේ රතු පළු ගොඩ ඇති
වට කරන් මට තැළුවා
කාකි ඇඳුමෙන් ඔඳ වැඩී...

නොකල හොර නඩු හබේ
වරද මා පිට ගොඩ ගැහි
පොදි බැඳන් මෙහි ආවා
මරණ බිය සිත් රැඳි...

Saturday, September 10, 2016

හුදකලාව...






















නීල අහසේ වළා සේඳය
ලකල් ගෙත්තම් වලින් හැඩ කර
බලා ඉමි මා නුඹේ රුව දෙස
දෙව් ලොවට යන පාර අද්දර...

මැකී ගොස් ඇත අඳුරු ඡායා
සිහින සිතුවම් පාට බොඳ කල
මිහිරි සිල්පද නුඹේ හද කී
තාම ඇත මගේ හිතේ කෙළවර...

සොයා ආවත් ඈත දුර සිට
සියොත් කැල ආ මාවතේ සිට
සුළඟ ඇවිදින් පාර කිවුවද
ගීත ගයමින් හදවතේ හිඳ...

එතුනු වැල් ගස් මල් කිණිති අඟ
කැකුළු මල් පෙති සිනා පෑවද
සතුටු මල් පැණි උරන බඹරුන්
පාළු එන මඟ බලා වුන්නද...

රැහෙයි ගී හඬ සකල පෙම් කල
ගිලුනු තරු නැව් එබෙයි අහසට
බලා සිටියත් දෙව්ලොවේ සිට
තාම නුඹ නෑ පාළු අහසට...


Wednesday, September 7, 2016

හකුරු කවි - 10






















මහළු
තෘණ පත් යටට
රූරා වැටෙන
සිනිඳු සඳ රැස්
ගයයි
වසන්තයේ ප්‍රේම ගීතය...


Monday, September 5, 2016

හකුරු කවි - 09






















කඳුකර හුදකලාව
කොඳුරයි
ඉකිබිඳි
වැලපෙයි
හමා එන
ආගන්තුක සුළඟ දැක...


Thursday, September 1, 2016

හකුරු කවි - 08






















සීතල සුළඟ
දිනක පවසාවි,
සඳ රැස්
නිසල දියට
පෙම් කල වග..