Thursday, September 28, 2017

හෙක්ටර් විරාජ්‍ට සල්ලි දුන්නද?

                      සුනිමල් රැකියාව කලේ කොළඹ රජයේ කාර්යාලයකය. කොළඹින් නුදුරු පිටිසර ගමක ජීවත් වූ ඔහු විවාහ කර ගත්තේ ඔහු කුඩා කල සිට දැන හැඳින සිටි කුසුමා ය. විවාහයෙන් පසු ගමෙහි වැඩි කලක් ජීවත් වීමට ඔවුන් දෙපළට නොහැකි විය. මන්ද සුනිමල් හට කොළඹ රැකියාවට යාමට සිදු වූ හෙයිනි.


            "කොළඹට පායනන්නේ අපේ ගමේ ඉර නෙමෙයි, මේක මහ යකාගේ ඉරක්"  දවසේ තෙහෙට්ටුවට ප්‍රේමනීය පානයක් තොල ගාගත් ඔහු හවසට තම බිරිදෑ ට කිවේ එසේය. ඔහු එය පැවසීමෙන් තම බිරිඳෑ හට නොකියා කීවේ තමා හට ඇති මහන්සිය නිසා ප්‍රේමනීය පානයෙන් විඩා නිවාගත් බවයි. එක් දිනක් රාත්‍රී 8ට පමණ දෙදෙනාම අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ගොම්මන් වීගෙන එනවිට එළියට පනින මෙගා නාට්‍ය වල නළු නිළියන් ඉදිරියේය.  ඒ අතර වාරයේදි රටේ තොටේ සිදුවන ඕප දූප කතා කිරීමට ද දෙදෙනා අමතක කලේ නැත.

බිරිඳ : ඔහේ දන්නවද වැඩක්?
 
සැමියා: ඒ මොකද්ද අනේ?
 
බිරිඳ : මුන්ට නාකි වේගෙන එනකොට මඟුල් විසේ ගහනවනේ. මට නම් විලි ලැජ්ජාවේ බෑ.
 
සැමියා: දැන් ඔය මොකා ගැනද කියන්නේ?
 
බිරිඳ: හෙක්ටර් බස්නායක අන්න කෙල්ලෙක්ව බැඳලලු.වයස තිස් ගානක කෙල්ලෙක් ලු.
 
සැමියා: හෙක්ටර් මහත්තයා කැමති නම් බැඳගත්තහම මොකෝ.. ඔහේ මොකටද ඒකට ලැජ්ජා වෙන්නේ.
 
බිරිඳ: අපේ අම්මා මුත්තා කාලේවත් වුණ දේවලද ඔය, ලංකාවේ තියෙන සංස්කෘතියට මොකද වෙන්නේ? අපේ ජාතියට මොකද වෙන්නේ? මුන්ට මඟුල් විසේ ගහනවා නාකි වෙනකොට මම නම් සිංදුවක් වත් අහන්නේ නෑ ආය.. @#$%&?@$%@*@*@%@%@?@$#%@*-@-@-%$


ඔහුට කීමට දෙයක් ඉතුරු නොවීය. ඔහුගේ තොල් අඟ රැව් දුන් ඒ වචන සමුදාය එක හුස්මට ගිල දැමීමෙන් අනතුරුව කාමරයට ගොස් නිදාගත්තේය.


වසරකට පසු


ඒ නිරුවත මාකටින් කරන යුගයි. ඒ යුගයේ අමුතු අමුතු කලා කෘති බිහි වූයේ ගහෙන් ගෙඩි එන්නා සේය. එළවළු වෙලෙන්ඳා එළවළු විකිණීමට වෙළඳ උපායන් යොදාගන්නා සේම ගායකයෝද, ගීත සඳහා රූප රචනා කරන අයද විවිධ වූ වෙළඳ උපායන් මේ යුගයේදි යොදාගත්තේ මුදල් සෙවීමටය.මේ වකවානුවේ දී වෙනස්ම ආකාරයේ රූප රචනයක්, ගීයක් සඳහා නිර්මාණය විය. එය පෙර කියු හෙක්ටර් බස්නායක සිද්ධිය අලලා නිර්මාණය වූවක් යැයි බහුතරයක් කීය. එමෙන්ම එහි නිරුවත් දර්ශන මෙන්ම, විවිධ වූ වෙළඳ උපායන් සහිත දර්ශනද තිබිණ.පෙර පරදිම ඔහු තම රැකියාව අවසන් වී නිවසට පැමිණියේ ප්‍රේමනීය පානයද තොල් මතින් රැගෙනය. වෙනදා මෙන්ම රෑ 8ට පමණ මොහු තම බිරිඳ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ඉමක් තෙරක් නොපෙනෙන මෙගා නාට්‍යයේ අවසානය සොයමින්‍ ය.

ඒ සිටින අතරවාරයේ


බිරිඳ : ඔහේ දන්නවද වැඩක්?
 
සැමියා : ඒ මොකද්ද අනේ ඒ?
 
බිරිඳ : අර විරාජ් කියන එකා ආයෙත් අන්න විශුවල් එකක් හදලා, අම්මපා මූ ලැජ්ජාවක් නැති තිරිසනෙක්.
 
සැමියා: හැහ්! ඒ මොකද්ද ඒ?
 
බිරිඳ: බලනවකෝ යූටියුබ් ගිය වෙලවක. ඌ අර කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න හෙක්ටර් බස්නායක මහත්තයට මඩ ගහලා හදලා තියෙන්නේ. ඒ මනුස්සයගේ චරිතේ කාලා, ඒ මඳිවට නවනින්ගිරාවයි ගෑණු ඉන්නේ හෙලුවෙන්.
 
සැමියා: ඒ ඉතින් ඒ මනුස්සයගේ බිස්නස් එකනේ.. ඒ මනුස්සයා හොයාගෙන කන්නේ ඕකෙන්නේ. ඕවා වැඩිය හිතන්න එපා.
 
බිරිඳ: හනේ අම්මපා මේ මිනිහට ජාතිය, සංස්කෘතිය ගැන කැක්කුමක් නැති හැටි. අර මනුස්සයා තමන්ගේ පාඩුවේ කවුරු බැඳගෙන හිටියාම අරූට මොකද. ඒක ඒ මනුස්සයගේ කැමැත්තනේ. එහෙම මිනිස්සුන්ට අගෞරව කරන්න හොඳ නෑ. කොච්චර ලස්සන සිංදුද තියෙන්නේ.. හෙක්ටර් මහත්තයා අපේ රටට වටිනා මණිකක්, මම නම් අද ඉඳන් අහන්නේ හෙක්ටර් මහත්තයගේ ගේ සිංදුම විතරයි බලන්නකෝ බොරු නම්.


ඔහුට කීමට කිසිත් නොවීය. මක්නිසාද අවුරුද්දකට විතර කලින් ඇය විසින්ම හෙක්ටර්ට බැන වැඳුනු අයුරු ඔහුගේ සවන් මත රැව් දෙන්නට විය. කෙසේ වුවත් ඔහුගේ සිතේ කකියන එකඳු පැනයක් විය. ඔහු එය තමන්ගේ සිතින්ම ඇසීය.


හෙක්ටර් විරාජ්ට සල්ලි වත් දුන්නද මේ විදියට විශුවල් එකක් හදන්න???????

Monday, September 25, 2017

නිල් තල්මසා ලංකාවට!!!

             නිල් තල්මසාගේ ක්‍රීඩාව සමාජ ජාල හරහා ප්‍රචලිත වූ අන්‍තර්ජාල ක්‍රීඩාවකි. ලෝකයේ බොහෝමයක් රටවල් වල ව්‍යාප්ත වූ මෙම ක්‍රීඩාව කලකට ඉහතදි අප ආසන්නතම රට වන ඉන්දියාවටද ව්‍යාප්ත විය. මරණයේ අත්දැකීම කෙතරම් සුන්දරද යන්න මේ ක්‍රීඩාවෙහි නිරත වන පුද්ගලයෙකු හට ලැබෙන ප්‍රධානතම අත්දැකීම වේ. ඒ වගේම මේ ක්‍රීඩාවේ යෙදීමෙන් බයංකාර වින්ඳනයන් මෙන්ම, ස්වයං වේදනාවන් විඳීමටද ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබේ. මේ ක්‍රීඩාවේදි, ක්‍රීඩකයා හට අභියෝග 50කට මුහුණ දීමට සිදුවෙන අතර එය ඔවුන් හට සුන්දර අත්දැකීමක සතුට ලඟාකර දේ.


                              මේ ක්‍රීඩාව ඉංදියාව තුළ ප්‍රචලිත වෙත්ම ශ්‍රී ලාංකිකයන්ද මේ ක්‍රිඩාවට ලැඳි බවක් දැක්වූ බව ප්‍රකට කරුණකි. ඔවුන් සමාජ ජාල ඔස්සේ මෙම ක්‍රීඩාව පිළිබඳව සෙවීමේ නිරත වූ අතර මෙය කෙසේ සිදුවෙනවාද යන්න දැනගැනීමට ලාංකිකයින් ඉමහත් ආශාවකින් පසු වූ බවද නොරහසකි. කෙසේ වෙතත් මරණයේ සතුට ලඟා කර දෙන මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ඇතුළු වේ දැයි යන්න පිළිබඳ බියක්ද නොතිබුණාම නොවේ.
                      ඉංදියාවට එන ඕනෑම කුණු ගොඩක් නවමු මුහුණුවරකින් ශ්‍රී ලංකාවටද ඇතුළුවන බව සැවොම දන්නා කරුණකි. ඒ සෑම දෙයක්ම ශ්‍රී ලංකාව තුළට පමිණේමේදී ලංකාවට අනුගත වන අයුරින් ලංකාව තුළ ප්‍රචලිත වීම ඉතාම සිත්ගන්නා සුලු දෙයක් වන අතර, එය ඉතාමත් බුද්ධිමත් අයුරින් සිදුවීමද විශ්මයට කරුණකි( සැ.යු. එය සෑම දෙයකටම අදා නොවේ.).
                        ඉතින් නුඹ දැන සිටියාද නිල් තල්මසාගේ ක්‍රීඩාව ලංකාවට තුළ ව්‍යාප්ත වී ඇති බව. කෙසේ නමුත් දැනටම එම ක්‍රීඩාවේ නිරත වන බොහෝ දෙනා සිටී. එසේ සිටියත් එය සමාජය තුළ තවමත් කතාබහකට ලක්වන තරමට ප්‍රචලිත වී නොමැත.
                        ලංකාව තුළ ව්‍යාප්ත වුණු මෙම නිල් තල්මසාගේ ක්‍රීඩාවේ විශේෂත්වය නම් එය අනෙක් රටවල් වල ව්‍යාප්ත වූ තරඟ ස්වභාවෙයෙන් බෙහෙවින්ම වෙනස් ආකාරයෙන් යුක්ත වීමයි. තරඟ රටාවේ වෙනසක් තිබුණද තරඟය අවසානයේදී ක්‍රීඩකයා බලාපොරොත්තු වන මරණයේ ආශ්වාදය ඔහු හට ලැබෙන අයුරින් එය සකසා ඇත.
                 නිල් තල්මසාගේ ක්‍රීඩාවේ ලාංකික සංස්කරණය තුළ ක්‍රීඩකයා හට තම ශරීරයේ කැපිම් තුවාල සිදු කර ගැනීමට අවස්ථාව ලබා නොදේ. බාහිර කැපීම් වලට අවස්ථාව නොදුන්නත් අභ්‍යන්තර මානසික බිඳ වැට්ටවීම් තුළින් මනස කැපීමට ලක් කිරීම මෙහි ඇති විශේෂයක් වේ. ක්‍රීඩාව කිරීමට පෙර ක්‍රීඩකයාගේ මනසේ ස්වභාවය පරීක්ෂණයකට ලක් කරන අතර, ක්‍රීඩකයාගේ මානසික දුර්වලතා වල පීඩිත බව වැඩිකිරීමක් සිදු කරනු ලබයි. උදාහරණයක් ලෙස : අප සිතමු ක්‍රීඩකයා හට ආදර සම්බන්දතාවයක් තියෙනවා කියලා, ඒ සම්බන්දතාවයේ දුර්වල තැන් පිරික්සමින් ක්‍රීඩාව තුළ ක්‍රීඩකයා දුර්වල මනසක් සහිත පුද්ගලයෙකු බවට පත් කරන අතර ඒ මඟින් ඔහුට ජීවත් වීමට ඇති ආශාව නැති කර දමයි. එමෙන්ම ඔහුට ආදරය පවත්වාගෙන යාමට බාදාවන් සිදු කරනු ලබයි. ඒ සෑම දෙයක්ම ක්‍රීඩකයාගේ මනස මෙහෙයවමින් කිරීම විශේෂයකි.ඉන්පසු මෙම මානසික බිඳ වැටීම් නිසාවෙන් ක්‍රීඩකයා විසිනම් සිය දිවි හානිය කර ගනීමට පොළඹවන අතර එය වීඩියෝගත කිරීමටද උපදෙස් දී ඇත.
                 කෙසේ වෙතත් ලොවම දන්නා ක්‍රීඩාවක ලාංකීය සංස්කරණය මෙසේ සකසා ඇති අතර ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ගේ ප්‍රධානතම ඉලක්කය නම් මානසික පීඩනයන්ට හොඳින් මුහුණදිය හැකි පුද්ගලයෙකු නිර්මාණය කිරීමයි. ලොව ප්‍රකට නිල් තල්මසාගේ ක්‍රීඩාවේ මරණය, අවසාන ජයග්‍රහණය ලෙස සැලකුවත්, ලාංකීය සංස්කරණය තුළ මරණය ලැබීම ක්‍රීඩකයාගේ පරාජය ලෙස දක්වනු ලබයි.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩාවේ නිර්මාතෘවරයා සඳහන් කරනුයේ, කිසිවිටක තම ජීවිතයට ආදරය නොකරන, පීඩිත තත්වයන්ට මුහුණ දීමට නොහැකි දුර්වල පුද්ගලයන්ගේ වෙන් වීම ඉදිරියේ දුක් නොවන ලෙසත්, ඔවුන් හට අනුකම්පා කරන ලෙසත්ය.
              සෑම විටම තමන්ට ආදරය කිරීම තුළින් තමන්ගේ සාර්ථකත්වය, දියුණුව මෙන්ම මානසික ශක්තීය ඉහළ නැංවෙන බව කිව යුතුය. එමෙන්ම වේදනාවන් විඳ දරාගැනීම තුළින් මිනිසා සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු බවට පරිවර්තනය කරනු ලබයි.

Thursday, September 21, 2017

ඒක දිගම දිගයි

                           එදා දවස හරිම දිගයි. කොච්චරක් දිගයිද කියනවා නම් තප්පරයක් ගතවෙන්න ගියා පැයක් විතර. එදා උදේ ඉර පායලා තිබුණෙත් වෙනදා වගේ නෙමෙයි. අව්ව කොච්චර සැරයිද කියනවා නම් මුණ අත පය පිච්චිලා හැම තනකින්ම වතුර ගලන්න පටන් ගත්තා. ඇස් කළු වෙන්න පටන් ගත්තා. මම දැක්කා මගේ සමහර යාළුවෝ අවුවේ සැරට පොළව බදාගන්නවා. 

                 ඉතින් එදා තමයි මම දැක්කේ දිගම සුදු ගවුම් ඇඳගත්ත ළමයි පේලිය. මට ගොඩක් ආඩම්බරයක් දැනුනා. ඇයි දන්නවද? ඒ පේළියේ හිටපු ළමයි 250 අතරේ මාත් හිටපු නිසා. ඒ සතුට කොතෙක්ද කියනවා නම් මගේ දෑස පලාගෙන කඳුළු ආවා. සමහරු හිතුවේ මම අවුවේ සැර නිසා අඬනවා කියලා. ඒත් ඒ කඳුළු ආවේ සතුට වැඩිකමට. ඉතින් එදා තමයි මම ලෝකේ දිගම දිග සාරි පොට දැක්කේ. ලස්සනට වැඩ දාලා මුතු අල්ලලා තිබුණ සාරි පොට පාර දිගේ අල්ලගෙන ඉන්නකොට මටත් හිතුණා මත් කවදා හරි මේ වගේ සාරි පොටක් තියෙන සාරියක් අඳිනවාමයි කියලා.
                              කොහොම වුණත් එදා අපි ගොඩක් සතුටින් හිටියේ ඇයි දන්නවද? එදා ඉස්කෝලේ දවසක් වුණත් අපිට ඉගනගනත් ඕන නෑ නේ. කොච්චර කරදරයක්ද ඉගනගන්න එක. ඒ වගේද සාරි පොටක් අල්ලගෙන පාර දිගේ යන එක. ජීවිතේටම ඉතින් එක පාරයි නේ මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. ලෝකේ දිගම සාරි පොට අල්ලන උත්සවයට ආවා ලොකු ලොකු වාහන වලින් බැහැපු ලස්සන ලස්සන නෝනලා මහත්වරු ඒ අතරේ හිටියා මැති ඇමති වරුත්. එයාලා අවේ AC එකේ කිටි කිටියේ හීතලේ ගල් වෙලා ඉඳලා. එයාලට නම් තිබුණා කලු පාට කණ්නාඩි ඇස් වලට දාගන්න. එයාලට ඉඳගෙන ඉන්න තැන් එහෙමත් හදලා තිබුණේ. ඒත් ඉතින් එයාලට අපිට තිබුණ වාසනාව නම් තිබුණේ නෑ.
                කොහොම වුණත් මට ගොඩක්ම සතුටුයි. ඒ වගේම මගේ යාළුවන්ටත්. මොකද මේ වගේ අවස්ථාවක් පාසල් යන අපි වගේ ළමයින්ට ලැබෙන්නේ නෑ නේ. අපි ගොඩක් වාසනාවන්තයි. නිදහස් අධ්‍යාපනය බුක්ති විඳින අපි වගේ ළමයින්ට මේ වගේ ඉන්න ලැබුණු එක ගැන. සමහර දේශපාලන පක්ෂ වල ඉන්න නිදහස් අධ්‍යාපනය නැති වෙනවා කියලා කෑ ගහන කැම්පස් අයියලා අක්කාලා කැමති නෑ මේ වගේ වැඩ වෙනවට. ඉතින් මම මේ වෙලාවේ එයාලගෙන් ඉල්ලන්න කැමති මේ වගේ දේවල් නිසා පාරට බැහැලා කෑගහන්න නම් එපා කියලා.

පෙම් කිරීම අයිතියකි!

පෙමක් මෝරන හදවතේ එක
තැනක පෙම් මල් පිබිදිලා
මුහුදු වෙරළේ කොණක ඉන්නේ
රූම් නොගිහින් ගුලි වෙලා
කාකි ඇඳුමෙන් සැරසිලා හොට
අනින කාකන් වටවෙලා
ඇයිද ඇණයක් වෙන්නේ පෙම් මල්
සිඹින මල් වල දැවටිලා?


Wednesday, September 20, 2017

වැඩිහිටියන්ට පමණයි (18+)

                             "මෙලොව එළිය දැකීම" හෙවත් නව උපතක් සිදු වීම(දරුවෙකු, නව කලා කෘතියක්,හෝ වෙනත් යමක් විය හැක). මේ අවස්ථාව කිනම් අයුරින් සිදු වුවත් එය සිදු වන්නේ ඇඳුම් නැතුවය. එසේත් නැති නම් නිර්වස්ත්‍ර වය. කෙසේ වුවත් නිර්වස්ත්‍ර අයුරින් නව ඉපදීම සිදු වුවද සමාජයට උචිත, සමාජයට අවශ්‍යය අයුරින් නිර්වස්ත්‍ර බව නැති කිරීම සිදු කරයි. එය පුද්ගලයින් තම ස්වකීය ආශාව මත සිදු කරන ඇඳුම් ඇන්දවීමකි. 


                        කුමන අයුරක නිර්වස්ත්‍ර බවක් දැක්මට කැමති වුවත් ලංකාවේ cult එක ඇතුළේ ඉන්න අය පුද්ගල නිර්වස්ත්‍ර බව දැකීමට අකමැතිය( මුන් පට්ට කැමති ඒත් ඒත් කියන්න කැමති නෑ). පුද්ගල නිර්වස්ත්‍රය පෙනෙන අයුරින් සිනමා කෘතියක් බිහි වුවොත් එය නිල් චිත්‍රපටයකි ( blue film කියන්නේ අන්න ඒවා) පොතක් ලියවුණහොත් එක කියවීමට නිසුදුසු එකකි.ඒවා බැලීමට නම් 18+ විය යුතුය. එසේත් නැත්නම් එය හිර ගත වී දඩ කෑමට සිදුවන බරපතල වරදකි. 
                         ලංකාවේ cult එකට එළිමහන් සමාජය තුළ සිප වැළඳගැනීම් පට්ට ඇලජික් ය. තොල් සිප ගැනීමක් නම් ගල් ගෙඩියකින් ගුටි කෑමට වුවද සූදානම් විය යුතුය. ඒත් ප්‍රසිද්ධ පුද්ගලයින්ට එයට තහනමක් නොමැත. ඔවුන් එය සිදු කලොත් " බලන්නකෝ කොච්චර සුන්දර ද" යන අයුරින් ඇගයීමක් ලැබෙනු ඇත. මුහුදු වෙරළක ප්‍රේමවන්තයින් හට හමු වීමට නොහැක. නිදහස් උද්‍යානයක හමු වීමට නොහැක. කොටින්ම කිවුවොත් පෙම් කිරීමට නම් තහනම්ය.
                             ලංකාවේ ජීවත්වන වැඩිහිටි සමාජය පිටසක්වල ජීවීන් වැනි අරුම පුදුම කොටසකි. ප්‍රේමවන්තයින් යනු ඔවුන් දැකීමට අකමැතිම පිරිසකි. ඔවුන් දකින විට ඒ වැඩිහිටියන් හට ඇතිවන්නේ අහස පොළොව උහුලන්නේ නැති ලැජ්ජාවකි. කොටින්ම කිවුවොත් වැඩිහිටියෝ නම් පෙම් කර නොමැත. නිල් චිත්‍රපට බලා නොමැත.
               ලංකාවේ නිතියත් හරිම අපූරුය. ඉහළ බලපුළුවන්කාර ජඩ දේශපාලන අතකට හෝ අතකොලුවකට ලංකාවේ ඕනෑම තකතීරු අධම ක්‍රියාවක් සිදු කිරීමට හැක. අහිංසක කාන්තාවන්, කුඩා ගැහැණු ළමුන් දූෂනය කිරීමට හැකිය. එසේම ඒවාට නීතියක් නොමැත. කොටින්ම කිවුවොත් ඒ හයිකාරයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බය ය. ලැජ්ජාවට කරුණ නම් එය ය.
                         කෙසේ වුවත් ලංකාවේ නීතියට අනුව දුරකතනයක නිල් චිත්‍රපටයක් තිබීම සෑහෙන්න ලොකු වරදකි. නිල් චිත්‍රපටයක් බැලීම ඊට වඩා ලොකු වරදකි( නීතිය ක්‍රියාත්මක කරන අය නිල් චිත්‍රපට කිසි දිනක බලා නොමැත). එසේ තිබී හෝ බලමින් හිඳ අසු වුවහොත් හිරේ ලැගීමට සිඳුවන අතර බඩ පිරෙන්න දඩ කෑමටද සිදු වේ. ඒ වගේම ආතක් පාතක් නැති සමහරක් මාධ්‍යවේදීන් හට එය පට්ට නිවුස් එකකි. කොටින්ම කිවුවොත් පුවත්පතකට, රූපවාහිනී නාලිකාවකට පට්ට හෙඩිමකි.
              ඉතින් නුඹ සැලකිලිමත් විය යුතුය. නිල් චිත්‍රපට නොබැලීමටත්, පෙම් නොකිරීමටත්. මොකද ඒ බරපතල වැරදි නිසාවෙන් සමාජය ඉදිරියේ නුඹේ රෙදි ගැලවී නුඹ නිර්වස්ත්‍ර වීමට ඉඩ ඇත.

Sunday, September 17, 2017

කිරි ඇතින්නිය

                මේක ටිකක් පරණ පුවතක්. මීට මාස තුනකට පමණ කාලයේදි හබරන ප්‍රදේශයේ සිදු වුණ මෙම සිදුවීම, මිනිස් අයිතිවාසිකම් පිලිබඳව කතා කරන පුද්ගලියින්ට සත්ව අයිතිවාසිකම් පිලිබඳව අමතකවී ගිය සිදුවීමකි. මිනිසුන්ට පමණද ජීවත් වීමේ අයිතිය තිබිය යුත්තේ? නැත්නම් එය ප්‍රශ්නාර්ථයකට පමණක් සීමා වුණු කාරණයක් ද?.



(පුවතක් : හබරන, බස් රථයක ගැටී මියගිය අලි පැටවකු අසල රැඳි සිටි මව් ඇතින්නට පොලිසියෙන් වෙඩි තබා මරා දමයි.)

පුවත මෙතනින් : මව්බිම පුවත්පත

බඩේ රැක වැඩු අනේ දරුවා
සඳේ කළුවරේ පාරේ උන්නා
වසා දූවිලි යකා ඇවිදින්
තලා පොඩිකර මරා දැම්මා


තනේ කිරි තව එරෙනවා ඇඟ
පුරා සෙනෙහස වැඩෙන හින්දා
සමන් ගිරි හිස වඩින දෙවියනි!
පුතා රැක දෙන් මෙන්න වැන්ඳා


හුස්ම හොයමින් රැකලා උන්නේ
දමා යන්නට නොහැකි හන්දා
වනේ මහතුන් අනේ හදවත
සිදුරු වෙන්නට මටත් විද්දා


පපුව පෑරුණේ යකඩ උණ්ඩෙට
නොවේ දරු දුක වැඩුණු හින්දා
පලා බැලුවොත් දකින්නට හැකි
මවක් උහුලන සෙනෙහේ කන්දා
 

Saturday, September 16, 2017

එන්න මේ කොණට

             අකුරු එක දෙක ගැලපලා, හොරෙන් එබිකම් කරන වචන ගොන්නක් කිටි කිටියේ සුදු පාට කොල අතරේ හිරකරලා, ජීවිතේ පුරා පොදි ගහගෙන හිටපු, හති අරින ඒ සිතුවිලි ගොන්නට සුන්දර පාටක්, අගයක් එකතු කරලා, හැදුන දරුවෙකු දෙඅත් මත නැළවෙන සතුට ට හිත ඇතුළේ කෙතරම් ආදරක් පත්තු වෙනවද?

           මේ සාහිත්‍ය මාසය. රට වටේම තියෙන පොත් ගොන්නක් එක තැනකට එකතු වෙලා ජීවිතේ ගැන කතා කරන මාසය. හිතේ හිර කරගෙන හිටපු දුක, සතුට කවි, කතන්දර වෙලා හුස්ම හිර කරවන මාසය. නානාප්‍රකාර විදියට අපූරුවට හඳුන්වා දෙන්න පුළුවන් මාසෙක එක පොතක් වත් අරගෙන කියවන්න පුළුවන් නම් කෙතරම් අපූරුද?

                          එහෙම හිතනකොට ඒක දැන් විලාසිතාවක් වෙලා එක පොදියට පොත් වලට පොරකන, අහස උසට දිවෙන පොත් මිටියක් ගෙදර ගොඩගහගන්න තරඟයක්. ගිය අවුරුද්දේ මතකද? මේ මාසේ ගත්ත පොත් ටික. අන්න උඩුබැලි අතට නිදාගෙන ඉන්නවා ලෑලි රාක්කේ මුල්ලක. හෙමින් ගිහින් කූද්දාලා ආදරයෙන් ලඟට ගත්තොත් උන් ආදරේ කරයි හදවත පුපුරන තරමටම.

                ඒ ආදරේ ලබාගන්න බැරුව කී දෙනෙක් බලාගෙන ඇත්ද මොකද ඒ ආදරේ සෑහෙන්න වටින එකක්. ඒකට මිලක් තියෙනවා, ඒ "ආදරේට" හුස්ම දුන්න උන්ගේ මහන්සියට ගෞරවයක් විදියට. ඉතින් ඒ ආදරේ හොයන එකෙක් ගේ හදවත තෙමා ගන්න පොතක් අරන් දීලා උදවුවක් කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා නේද?

               ඔය සුදු පාට පිටු අතරේ ඉපදෙන්නේ ඇස් වලින් වැටුන හදවතේ පාට. ඒක, එක එකාට එකේක විදිය. ඉතින් කැමති විදියකට ලියන්න පුළුවන්, කැමති දෙයක් ගැන. ඉතින් ඒ ලිවිල්ලට ඇයි වැට කඬුළු? අහස ගැන එකෙක් ලියනකොට, තව එකෙක්ට පුළුවන් පොළව ගැන ලියන්න. ගස් ගැන මල් ගැන අහුවෙන අහුවෙන හැම දේම ගැන හිතේ තියෙන දේ ලිවුවට කාටවත් හානියක්ද? ඒව විඳින්න කැමති හැම කෙනාම( හැබැයි සමහරු නෑ වගේ ඉන්නේ). ඒ ලියනකොට ලිංගිකත්වය, ආගම, නිදහස් දර්ශනය ගැන ලියන්න බැරිද? එහෙම එකේ දුවෙක්ට තමන්ගේ තාත්තා ගැන ලියන්න බැරිද?

                    මේක ඇතුලේ රිංගගෙන ඉන්නේ පුදුමාකාර කුහකයෝ ටිකක්. ගහක මලක් පිපුණත් උන්ට ඒකේ අඩුවක් නම් පේනවා සත්තයි. උන් පට්ට විදියට බැරෑරුම් හැබැයි ගැම්ම කියන එක බිංදුවයි. දේශපාලනේ ගැන නම් උන් තරම් විචාරකයෝ නැති තරම්, ආගම් ගැන වුණත් එහෙමයි, සමාජේ ගැන වුණත් එහෙමයි. අනුන්ගේ සතුට විඳින්න පුරුදු වෙලා ඒ සතුටට ආදරේ කරන්න ඒ අයත් ඉගනගත්තොත්! අන්න සාර්ථකත්වය.

                 ඉතින් උත්සහයක් දරමු, අනුන්ගේ සතුටට ගරු කරන ගමන්, මැරෙන්න කලින් හිතේ තියෙන දේවල් සුදු පාට පිටු අස්සේ හිර කරන්න එතකොට මේ වගේ මාසෙක තවත් එකෙක් උඹත් එක්කම හුස්මගනි.

ආ.. තව දෙයක්, පොත් ලියන උන්ගේ ජාතකේ හොයන්න එපා පොතෙන් ගන්න දෙයක් තියෙයි නම් ගන්න.ඉතින් එන්න මේ කොණට ඇවිත් ආදරෙන් කියවමු.


Friday, September 15, 2017

ඒ අනාගතය අදයි!

                     කොසොල් රජතුමා යනු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ රට පාලනය කල රජ වරයෙකි. දිනක් ඔහු නිදා සිටියෙදි සිහින දහසයක් දකිනවා. ඒ සිහින දහසයම එකිනෙකට වෙනස් වූ අතර, රජ සභාවේ සිටි දක්ෂයින්ටවත් ඒවාගේ තේරුම් රජු හට පැහැදිලි කිරීමට නොහැකි වෙනවා. ඉන්පසු රජතුමා බුදුරජාණන්වහන්සේ හමු වී මේ සිහින පිළිබඳව බුදුන් වහන්සේගෙන් විමසනවා. ඒ සිහින ගැන ඇසීමෙන් අනතුරුව බුදුරජාණන්වහන්සේ විසින් සිහින වල ඇති අරුත් පිළිබඳව මෙසේ දක්වනවා.

මේ එකොළොස්වන සිහිනයයි.

කොසොල් රජතුමා : 
 
" ස්වාමීනී මගේ මේ සිහිනයන අමුතුම ආකාරයේ එකක්. මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වමීනී ඇයි මේ වගේ සිහිනයක් මා හට පෙන්නුම් කලේ."

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලා ගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම සිහිනයේ තේරුම."

Wednesday, September 13, 2017

වැසි ලිහිණි සිනාව
















"පුරා රත් වළා පට
කළු සලුව දවටමින්
සොරා ගෙනවිත් ඉසින්නේ
වැසි ලිහිණි සිනාවකි"

ඵල පුරා මුතු විසිරෙන්න
ළපල්ලක පිණි තැවරෙන්න
පිරෙන නෙත් කැට හිනහෙන්න
මෙරුනි ඇවිදින් ඉගිලෙන්න

පාට නියෝන දිලිසේවි
උයන් සිරියෙන් බැබලේවි
තුරුලු වී තරු ,පහන් කණු යට
දැවී උණුසුමේ ගුලි වේවි

අඳුරු දූවිලි සේදේවි
කාණු පල්ලෙන් උතුරාවි
මැලි කඩා දිග හැරි උඩ පැන
වීදියේ දුක අඩුවේවි

ඇවිත් ගොඩ වී යන්න
සොරා ගත් දේ දී යන්න
අනුන්ගේ සිනාවක් හෙම
එපා නැවතත් ගෙන යන්න

Monday, September 11, 2017

පක්ෂීන් හඳුනාගනිමු

                        ශ්‍රී ලංකාව තුළ සුන්දර පක්ෂින් වර්ග රාශියක් සිටී. ඒ අතර පිළිහුඩුවා යනු ඉතාමත් සිත්ගන්නා සුළු පක්ෂියෙකි. අඳුරු කොළ පැහැයකින් යුතු ශරීරයේ තැනින් තැන නිල් පැහැයෙන් හැඩ වී ඇති ඔවු ඇස් වලට ප්‍රිය වු එක්තරා ආකාරයක බිය දනවන සුළු පක්ෂි වර්ගයකි. මොහු කපටි පක්ෂියෙකු වන අතර, ප්‍රහාරත්මක මෙන්ම තම ආත්මාථය උදෙසා ක්‍රියාකරන පක්ෂියෙකි. ලංකාවේ සුලභව දැකිය හැකි තවත් පක්ෂියෙකු නම්, අප ව්‍යවහාරය තුළ කොකා යැයි හඳුන්න පක්ෂියා කිරි සුදු පැහැයෙන් යුක්ත වන අතර සීලවන්ත බවින් සර්ව සම්පූර්ණ වූ තවත් කපටි පක්ෂී කොට්ඨාසයකි. මොවුන්ගේ කල් ක්‍රියාව හඳුනාගත් පුද්ගලයින් ඔවුන්ගේ ස්වරූපය නියමාකාරයෙන් හඳුනන අතර, මොවුන් සැබවින්ම සුදු රෙදි පොරවාගත් කපටි පක්ෂීන් වර්ගයකි. එමෙන්ම ශ්‍රී ලංකව තුළ තවත් සුන්දර පක්ෂීන් වර්ග දෙකක් සිටී. ඒ අප කවුරුත් හඳුනන සිවුරු හොරා සහ සුදු රෙදි හොරා යනුවෙන් ප්‍රචලිත වු පක්ෂීන් දෙකොටසයි. මොවුන් බොර ආසියා රැහැන්මාරා (Brown Paradise Fly Catcher) සුදු ආසියා රැහැන්මාරා (Indian Paradise Fly Catcher) යන නම් වලින් හඳුන්වන අතර, මොවුන් නිදහසේ ජීවත් වන සුන්දර පක්ෂීන් වර්ගයක් වේ.




                  












                                 



                    
                 අන් අයෙගේ දේ ඒ අයට නොකියා හෝ, බලහත්කාරයෙන් හෝ තමාගේ කර ගන්නා තැනැත්තා හොරා යන ව්‍යවහාරයෙන් හැඳින්විය හැකිය. හොරෙකුට ඕනෑම  දෙයක් සොරකම් කිරීමට හැකිය. ඒ අතර මුදල්, දේපල, වාහන,රත්තරන්,මුතු,මැණික සහ සිත් යන දේ මෙන්ම සුදු රෙදි හා සිවුරු යන දේ ද සොරකම් කල හැක. කෙසේ වුවත් හොරකමකට අනුබල දීම හෝ හොරෙකු වෙනුවෙන් පක්ෂපාතී වීම එතරම් යහපත් කටයුත්තක් නොවන අතර හොරෙකුට දඬුවම් ලැබිය යුතුමය.  එහෙත් වර්තමාන ලංකාව තුළ ඇති විලිලැජ්ජා නැති ක්‍රියාව නම් හොරෙකුට අනුබල දී ඔවුන්ගේ ගුණ ගැයීමයි. එය ගිහි පැවදි දෙපාර්ශවය විසින්ම කරනු ලබයි. 
              අතීතයේ සිට බෞද්ධ භික්ෂුවක් යනු මොනයම් හෝ වැරදි ක්‍රියාවකට අනුබල නොදුන් අයෙකු වේ. කෙසේ වෙතත් වර්ථමානයේ එය වෙනස් වී සමහරක් භික්ෂුන් හොරුන්ට අනුබල දීමේ කටයුත්තේද යෙදී සිටින්නේ තමන් යහපත් යැයිද, සීලවන්ත යැයිද, විනය රකින අයෙකු යැයිද යන සේ පෙන්වා බෞද්ධ ජනතාවගේ සිත් සොරකමේ යෙදීමෙනි (සිත් සොරකම් කිරීමද සොරකමකි).එය සමාජයේ සිටින කීප දෙනෙකු විසින් කරනු ලබන කටයුත්තකි.කෙසේ වෙතත් සුදු රෙදි හා සිවුරු හොරුන් කවුරුන්ද යන වග තීරණය කිරීමට අපට බාරය.

Sunday, September 10, 2017

සිල්පරන් පිහිටයි !


                          ඒ නුඹලා නොදකින දුකයි.අපිට ලැබුණ ඒ ජීවිතේ කියන එක මොවුන්ට නම් තාම ලැබිලා නෑ, ඉතින් මොවුන් තාමත් ජීවිතේ කියන එක හොයනවා කවදා හරි හමුවේ යැයි තියෙන බලාපොරොත්තුවත් හිතේ තියාගෙනම. හෙට ගැන මහ ලොකුවට බලාපොරුත්තුවක් නැති වුණත් අද දවසේ ජීවිතේ ගැටගහගෙන සතුටින් නිදා ගන්න මොවුන් හීන මවනවා ඒ දවල් වරුවේ කීයක් හරි හොයාගෙන. ජීවිතේ එපා වෙලා කොච්චියට බෙල්ල තියන සමහර අය අතරේ මේ ලෑලි අටවපු මන්දිර ඇතුලේ ඉන්නවා ඇති හෙට දවස ගැන හීනයක් ඇති සුන්දර තරුණ හිත් ටිකක්. ඒ මේ හිත් ගැන. 




















වැහි බිම විසිරි පව් සේදෙන කල
හෙන පුපුරනවා හිත අස්සේ

ඉහිරෙන කඳුලක තෙත නෑ දැනුනේ
අව් සැර නොගැටෙන ඇස් අස්සේ

සිල්පර නුහුලන ලේ වැගුරුණු තැන
ගවුමක ගිලිහුණු මල් ඇත්තේ
නොවටින ඒ මල් ගැන ලියවෙන කවි
දුක් උහුලන නුවරට නැත්තේ

හූ හඬ අහගෙන උදේට ඇහැරින
කම්මැලි කුරුලනි ගේ අස්සේ
තප්පර කටු කුමකට කැරකෙන්නද?
නොදැනේ රැය දහවල මැස්සේ

කිලිටි අහස් උකුලක සුව නිදනා
කිරි බිඳු උරමින් ලැම මැද්දේ
හෙට පළඳින රන්මිණි ඔටුනක හැඩ
කතරක මිරිඟුවකිනි දැක්කේ

මාල හතක පිත්තල කැටයම් හැඩ
බර වැඩි වී මව් හිත අස්සේ
මල්වර වී ගෙදරට වුණ දා හිත
තනි වී දැවුණා ලිප අස්සේ