Thursday, September 21, 2017

ඒක දිගම දිගයි

                           එදා දවස හරිම දිගයි. කොච්චරක් දිගයිද කියනවා නම් තප්පරයක් ගතවෙන්න ගියා පැයක් විතර. එදා උදේ ඉර පායලා තිබුණෙත් වෙනදා වගේ නෙමෙයි. අව්ව කොච්චර සැරයිද කියනවා නම් මුණ අත පය පිච්චිලා හැම තනකින්ම වතුර ගලන්න පටන් ගත්තා. ඇස් කළු වෙන්න පටන් ගත්තා. මම දැක්කා මගේ සමහර යාළුවෝ අවුවේ සැරට පොළව බදාගන්නවා. 

                 ඉතින් එදා තමයි මම දැක්කේ දිගම සුදු ගවුම් ඇඳගත්ත ළමයි පේලිය. මට ගොඩක් ආඩම්බරයක් දැනුනා. ඇයි දන්නවද? ඒ පේළියේ හිටපු ළමයි 250 අතරේ මාත් හිටපු නිසා. ඒ සතුට කොතෙක්ද කියනවා නම් මගේ දෑස පලාගෙන කඳුළු ආවා. සමහරු හිතුවේ මම අවුවේ සැර නිසා අඬනවා කියලා. ඒත් ඒ කඳුළු ආවේ සතුට වැඩිකමට. ඉතින් එදා තමයි මම ලෝකේ දිගම දිග සාරි පොට දැක්කේ. ලස්සනට වැඩ දාලා මුතු අල්ලලා තිබුණ සාරි පොට පාර දිගේ අල්ලගෙන ඉන්නකොට මටත් හිතුණා මත් කවදා හරි මේ වගේ සාරි පොටක් තියෙන සාරියක් අඳිනවාමයි කියලා.
                              කොහොම වුණත් එදා අපි ගොඩක් සතුටින් හිටියේ ඇයි දන්නවද? එදා ඉස්කෝලේ දවසක් වුණත් අපිට ඉගනගනත් ඕන නෑ නේ. කොච්චර කරදරයක්ද ඉගනගන්න එක. ඒ වගේද සාරි පොටක් අල්ලගෙන පාර දිගේ යන එක. ජීවිතේටම ඉතින් එක පාරයි නේ මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. ලෝකේ දිගම සාරි පොට අල්ලන උත්සවයට ආවා ලොකු ලොකු වාහන වලින් බැහැපු ලස්සන ලස්සන නෝනලා මහත්වරු ඒ අතරේ හිටියා මැති ඇමති වරුත්. එයාලා අවේ AC එකේ කිටි කිටියේ හීතලේ ගල් වෙලා ඉඳලා. එයාලට නම් තිබුණා කලු පාට කණ්නාඩි ඇස් වලට දාගන්න. එයාලට ඉඳගෙන ඉන්න තැන් එහෙමත් හදලා තිබුණේ. ඒත් ඉතින් එයාලට අපිට තිබුණ වාසනාව නම් තිබුණේ නෑ.
                කොහොම වුණත් මට ගොඩක්ම සතුටුයි. ඒ වගේම මගේ යාළුවන්ටත්. මොකද මේ වගේ අවස්ථාවක් පාසල් යන අපි වගේ ළමයින්ට ලැබෙන්නේ නෑ නේ. අපි ගොඩක් වාසනාවන්තයි. නිදහස් අධ්‍යාපනය බුක්ති විඳින අපි වගේ ළමයින්ට මේ වගේ ඉන්න ලැබුණු එක ගැන. සමහර දේශපාලන පක්ෂ වල ඉන්න නිදහස් අධ්‍යාපනය නැති වෙනවා කියලා කෑ ගහන කැම්පස් අයියලා අක්කාලා කැමති නෑ මේ වගේ වැඩ වෙනවට. ඉතින් මම මේ වෙලාවේ එයාලගෙන් ඉල්ලන්න කැමති මේ වගේ දේවල් නිසා පාරට බැහැලා කෑගහන්න නම් එපා කියලා.

No comments:

Post a Comment