Saturday, September 16, 2017

එන්න මේ කොණට

             අකුරු එක දෙක ගැලපලා, හොරෙන් එබිකම් කරන වචන ගොන්නක් කිටි කිටියේ සුදු පාට කොල අතරේ හිරකරලා, ජීවිතේ පුරා පොදි ගහගෙන හිටපු, හති අරින ඒ සිතුවිලි ගොන්නට සුන්දර පාටක්, අගයක් එකතු කරලා, හැදුන දරුවෙකු දෙඅත් මත නැළවෙන සතුට ට හිත ඇතුළේ කෙතරම් ආදරක් පත්තු වෙනවද?

           මේ සාහිත්‍ය මාසය. රට වටේම තියෙන පොත් ගොන්නක් එක තැනකට එකතු වෙලා ජීවිතේ ගැන කතා කරන මාසය. හිතේ හිර කරගෙන හිටපු දුක, සතුට කවි, කතන්දර වෙලා හුස්ම හිර කරවන මාසය. නානාප්‍රකාර විදියට අපූරුවට හඳුන්වා දෙන්න පුළුවන් මාසෙක එක පොතක් වත් අරගෙන කියවන්න පුළුවන් නම් කෙතරම් අපූරුද?

                          එහෙම හිතනකොට ඒක දැන් විලාසිතාවක් වෙලා එක පොදියට පොත් වලට පොරකන, අහස උසට දිවෙන පොත් මිටියක් ගෙදර ගොඩගහගන්න තරඟයක්. ගිය අවුරුද්දේ මතකද? මේ මාසේ ගත්ත පොත් ටික. අන්න උඩුබැලි අතට නිදාගෙන ඉන්නවා ලෑලි රාක්කේ මුල්ලක. හෙමින් ගිහින් කූද්දාලා ආදරයෙන් ලඟට ගත්තොත් උන් ආදරේ කරයි හදවත පුපුරන තරමටම.

                ඒ ආදරේ ලබාගන්න බැරුව කී දෙනෙක් බලාගෙන ඇත්ද මොකද ඒ ආදරේ සෑහෙන්න වටින එකක්. ඒකට මිලක් තියෙනවා, ඒ "ආදරේට" හුස්ම දුන්න උන්ගේ මහන්සියට ගෞරවයක් විදියට. ඉතින් ඒ ආදරේ හොයන එකෙක් ගේ හදවත තෙමා ගන්න පොතක් අරන් දීලා උදවුවක් කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා නේද?

               ඔය සුදු පාට පිටු අතරේ ඉපදෙන්නේ ඇස් වලින් වැටුන හදවතේ පාට. ඒක, එක එකාට එකේක විදිය. ඉතින් කැමති විදියකට ලියන්න පුළුවන්, කැමති දෙයක් ගැන. ඉතින් ඒ ලිවිල්ලට ඇයි වැට කඬුළු? අහස ගැන එකෙක් ලියනකොට, තව එකෙක්ට පුළුවන් පොළව ගැන ලියන්න. ගස් ගැන මල් ගැන අහුවෙන අහුවෙන හැම දේම ගැන හිතේ තියෙන දේ ලිවුවට කාටවත් හානියක්ද? ඒව විඳින්න කැමති හැම කෙනාම( හැබැයි සමහරු නෑ වගේ ඉන්නේ). ඒ ලියනකොට ලිංගිකත්වය, ආගම, නිදහස් දර්ශනය ගැන ලියන්න බැරිද? එහෙම එකේ දුවෙක්ට තමන්ගේ තාත්තා ගැන ලියන්න බැරිද?

                    මේක ඇතුලේ රිංගගෙන ඉන්නේ පුදුමාකාර කුහකයෝ ටිකක්. ගහක මලක් පිපුණත් උන්ට ඒකේ අඩුවක් නම් පේනවා සත්තයි. උන් පට්ට විදියට බැරෑරුම් හැබැයි ගැම්ම කියන එක බිංදුවයි. දේශපාලනේ ගැන නම් උන් තරම් විචාරකයෝ නැති තරම්, ආගම් ගැන වුණත් එහෙමයි, සමාජේ ගැන වුණත් එහෙමයි. අනුන්ගේ සතුට විඳින්න පුරුදු වෙලා ඒ සතුටට ආදරේ කරන්න ඒ අයත් ඉගනගත්තොත්! අන්න සාර්ථකත්වය.

                 ඉතින් උත්සහයක් දරමු, අනුන්ගේ සතුටට ගරු කරන ගමන්, මැරෙන්න කලින් හිතේ තියෙන දේවල් සුදු පාට පිටු අස්සේ හිර කරන්න එතකොට මේ වගේ මාසෙක තවත් එකෙක් උඹත් එක්කම හුස්මගනි.

ආ.. තව දෙයක්, පොත් ලියන උන්ගේ ජාතකේ හොයන්න එපා පොතෙන් ගන්න දෙයක් තියෙයි නම් ගන්න.ඉතින් එන්න මේ කොණට ඇවිත් ආදරෙන් කියවමු.


No comments:

Post a Comment