Tuesday, February 14, 2017

වැලන්ටයින් කේක් ගෙඩිය

                                 පිටි, සීනි, බිත්තර සහ බටර් මේ දේවල් එක්කර ගනිමින් රසවත් කේක් ගෙඩියක් සාදා ගත හැක. මෙයට අපි බටර් කේක් යැයි නම යොදමු. ඒ මෙය බටර් රසැති නිසාය. බටර් කේක්..!! ලංකාවේ මිනිසුන්ගෙන් බහුතරක් හෝ සියල්ලම බටර් කේක් රස නම් නොදන්නවා වීමට නොහැක. මක්නිසාද යත් එක් වරක් හෝ එම රස විඳ ඇත. බටර් කේක් මිශ්‍රණයකට චොකලට්, වැනිලා යන ආදී වූ විවිධ රසකාරක යොදාගනිමින් කේක් සෑදූකල ඒවාට අනුරූප විවිධ වූ නම් ඇත. එසේම බටර් කේක් ගෙඩියට විවිධ වර්ණ යොදාගනිමින් අයිසින් තට්ටුවක් යොදා සෑදුකල එය අයිසින් කේක් ගෙඩියකි. එම අයිසින් කේක් ගෙඩිය, ලස්සනය, හැඩය, ප්‍රියමනාපය. මේ ඒ අයිසින් කේක් ගෙඩිය ගැන කතන්දරයයි.


                                                                 
                                                    එසේ ගත්කල හදවතක හැඩයට කපාගත් බටර් කේක් ගෙඩියක් ගනිමු. එයට රතුපාටින් වර්ණක එකතුකර අයිසින් සාදා කේක් ගෙඩියේ ලස්සනට තවර ගනිමු. මෙයට අප වැලන්ටයින් කේක් ගෙඩිය යැයි නම යොදමු.හරිම අපූරුය, රතු පාටට කේක් ගෙඩිය හරිම ලස්සනය, දැක්කම ආදරය හට ගන්නේය. හැබැයි හැමදාම එකම රසය ඒ බටර් රසය, ඒ රස ලොකු කුඩා සෑවොම හඳුනන රසයකි. එහෙත් ඊට උඩින් තවරා ඇති රතුපාට ස්යිසින් තට්ටුවේ නම් මෙලෝ රසක් නොමැත කෙසේ වෙතත් බහු ජාතික මොළ ඇත්තෝ නම් එයට කැමතිය.
                                                       එක් වර්ෂයක් ගත් කල, එම වර්ෂයට අදාල නිශ්චිත ඇජෙන්ඩාවක් ඇත, එහි විවිධ දින, විවිධ මතෘකා වලට වෙන් කර ඇත. වැඩිහිටියන්ට එක් දිනයක් ඇත, ළමයින්ට තවත් දිනයක් ඇත, අම්මට එක් දිනේකුත්, තාත්තට එක් දිනේකුත් වශයෙන් නාන්ප්‍රකාර දින ඇත. ඒ දින විවිධ අයුරින් ෆැන්ටැසියකට හිර වෙමින් රැළ්ලට සමරන්නෝද නැත්තේමද නැත. මෙහෙම දින වලට වෙන් කර ඇති ඇජෙන්ඩාවක් සහිත වර්ෂයකට පේමවන්තයින්ටද දිනයක් වෙන්කර ඇත. එය මරු දිනයකි. මෙයට වැලන්ටයින් කියා ලස්සන නමක්ද යොදාගෙන ඇත. මේ දිනය නම් හරි අපූරුය. මාකටින් කාරයින්ට නම් කල්ල මරේය.
                                   මේ දිනයට පාටකුත් ඇත. එය රතු පාටය. ඒ හදවතින් ගලන ලේ රතු නිසා විය හැක. වැරදිලාවත් ලේ රතු නොවී කළු වූවා නම්, වැලන්ටයින් දිනයට අදාල පාට කළු විය හැක. එය එසේ වූවා කියලා වරදකුත් නැත කළුත් ලස්සන පාටක්ය. වැලන්ටයින් සීසන් එක නම් මරුය. " ආදරණීය සාප්පු(Lovers) " රතුපාටින් හැඩ කර ඇත. රතු රොස මල් එල්ලා ඇත. රතු පාටින් ඇති හදවත්ද තැනින් තැන එල්ලා ඇත. හරිම ආදර්ණීයය.
                            දැන් නම් පේමවන්තයින්ගේ සිත් උන්මාදයට පත්වී ඇත. සැම තැනම ආදරය ගැනය. හරියට ප්‍රේමවන්තයින්ගේ අවුරුදු සමයක් වගේය. ඔවුන් හරිම සතුටින්ය. වැලන්ටයින් දවසට කළ යුතුදේ ප්ලැන් කරන්නේය (බීච් යනවද,රූම් යනවද නැත්නම් වෙන කොහේ හරි). තම ප්‍රේම වන්තයාට ගත යුතු තෑග්ගත්, තම ප්‍රේම වන්තියට ගත යුතු තෑග්ගත් සිතින් මෙනහි කරන්නේය. ඉතින් මෙය නම් ඔවුන්ට කදිම කාලයකි.
                              මේ කාලයෙදී ඉවෙන්ට් ප්ලැනස් (Event planers) ලටත් කදිම කාලයකි. ඔවුන් ප්‍රේම වන්තයින්, ප්‍රේම වන්තයන් එක් තැනකට කොටු කර ගැනීමට විවිධ උපක්‍රම යොදන්නේය. විවිධ තැන්වල පාර්ටිය. ඒවගේ ඩීජේ මියුසික්, තව ඔවුන් වෙනුවෙන් සන්විධානය කල විවිධ තරඟ, සහ විවිධ දෑ බොහෝය. එක් අයෙකුගෙන් ඇතුළ්වීමේ ගාස්තු වශයෙන් අවම රුපියල් දහසක් ලබාගන්නේය. මාර්කටින් නම් එසේය. ඒ මේ අතරේ ඔවුන් ප්‍රේම නොකරන්නන්ද මඟ හැර නොමැත. ඔවුන් වෙනුවෙන්ද "ඇන්ටි වැලන්ටයින් ඩෙයි පාර්ටි(Anti Valentine Day Party )" ලෙසටද විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. ඒවාද යෙදී ඇත්තේ වැලන්ටයින් දවසටම වීම විශේෂ කරුණකි. ඒවාද පිනට නොපවත්වන අතර ඇතුළත් වීමට නම් මුදල් ගෙවිය යුතුමය. එසේනම් මාකටින් නම් මෙසේය. කෙසේ වුවත් මේ සෑම මාකටින් උගුලකටම ප්‍රාථමික අවධියේ බහු ජාතික මානසිකත්වයක් ඇති ප්‍රේමවන්තයින් අසුවී හමාරය. 
                                                     එසේ නම් පෙර අප කියූ රතුපාට හදවත් හැඩති මෙලෝ රසක් නොමැති වැලන්ටයින් කේක් ගෙඩිය ඔවුන් කා හමාරය. බලාගෙන ගියාම එහි ඇති වරදකුත් නැත. මක්නිසාද තමන් කැමති දෙයක් කිරීමට තමන්ට අයිතිය ඇති බැවිනි. නමුත් තමන්ට පිනට ලැබී ඇති මොළය ටිකක් භාවිතා කලා කියා එය ගෙවෙන්නේද නැත. බහුතරයක් මේම මාකටින් රැල්ලට හසු වන්නේ ප්‍රථමික අවධියේ ප්‍රේමවන්තයින් ය. ඒ ප්‍රේමයදි ඔවුන් බොළඳ නිසාය. මිනිසුන් බොළඳ වෙන තරමට මාකටින් කිරීම පහසුය. ඉතින් මාකටින් කරුවන් බොළඳම අවස්ථාවෙන් ලබාගත යුතු ඉහළම වාසිය ලබාගෙන ඇත. එය අනාගතයේදිත් එසේමය. ඉතින් සිතින් සිතා වැඩකටයුතු කිරීමට හැකි නම් අගනේය.

Thursday, February 2, 2017

අවදානය.! මේ ඔවුන් ගැන.

              උපන් දා සිට දේමාපියන් වෙහෙස වන්නේ තම ලමයින්ට ඉගැන්වීමටය. එය ඔවුන්ගේ එකම සහ අවසාන පැතුමය. එම නිසාවෙන්ම දෙමාපියන් විසින් ලමයින්ට ඉගනීමට අවශ්‍ය සියළුම දේ මෙන්ම, ඔවුනට අවශ්‍ය පහසිකම් කෙසේ හෝ සැපයීමට සැදී පැහැදී සිටින්නේය.
                                           ලාංකික සමාජය තුළ තට්ටු පිට මාලිගා සැදූ, රොද හතරක වාහන වල හිමිකාරිත්වය ඇති ඉතාමත් ධනවත් ජීවිත ගත කරන සමාජ කොට්ඨාශ නැති තරම්ය. එහෙව් වූ සමාජයක බහුතරයක්, ඔවුන් තම ලමයින්ට උගන්වන්නේ කුළී වැඩ කරමින්ය, අනුන්ගේ වත්තක තේ දළු කඩමින්ය, රබර් කිරි කපමින්ය එකී  නොකි බොහෝ තෙවන පන්තියේ රැකියා වල නිරත වෙමින්ය. රජයේ සේවයේ නියුක්තව සිටියද ඔවුනට මාසය අවසානයේ ලැබෙන දෙයක් නැත. කෙසේ වෙතත් ඔවුන් රටට ලෝකයට ණය වෙමින් තම ලමයින්ට උගන්නන දගලන්නේය ඒ ඔවුන් සිටින තැනට වඩා පියවරක් හෝ තම ලමයින් තබන විශ්වාසය සිතේ තබා ගනිමින්ය.
                                    ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු සා.පෙළ,උ.පෙළ හැදෑරීමෙන් අනතුරුව සැමගේම පැතුම උසස් අධ්‍යාපන ලබා ගැනීමය. එය එසෙ වුවත් උසස් අධ්‍යාපනය පිණිස රජයේ විශ්ව විද්‍යාලයකට යාමට සෑම කෙනෙකුටම අපහසුය, සමහරෙක් උ.පෙළ සමත් වුවත් ඔවුනට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යාමට නොහැකිය. එසේ වූ කල්හි, සල්ලි ඇත්තන්ගේ ලමයින් පෞද්ගලික උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට පෙළඹෙන අතර එය හේලා දැකීමට තරම් මා කුහක නොවෙමි, මක්නිසාද යත් මා හට මුදල් තිබුණා නම් මා ද ඔවුන් සේම අධ්‍යාපන ලබාගන්නා බැවිණි.
                                        කෙසේ වෙතත් ගණිත අංශයෙන්, වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ සමත්  වූවන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල නොමැති වුවත් ඔවුනට යාමට එක් මාර්ගයක් සකස් කර ඇත. එය, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව, උසස් ජාතික ගණකාධිකාරක ඩිප්ලෝමාව හා තවත් පාඨමාලා කීපයකින් සමන්විත වන්නකි.මේ ඒ ගැන කතන්දරයකි.
                      ඊයේ එනම් 2016.02.02 වන දින ශිෂ්‍ය උද්ගෝෂණායක් හා පා ගමනක් ගාල්ල, ලබුදූව උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිට කරාපිටිය දක්වා යෙදී තිබුණේය. එහි ඔවුන්ගේ සටන් පාඨ ලෙස තිබුණේ තම ආයතනයට නේවාසිකාගාර පහසුකම් දෙන ලෙසත්, මහපොළ වාරිකය 1250 වන වාරිකය 5000 තෙක් වැඩිකර දෙන ලෙසත්, එය කඩිනමින් තමන්ට ලබා දෙන ලෙසත්ය. මේ ඉල්ලීම් සැබවින්ම මේ වනවිට තම පහළොස්වන සංවස්සරය සමරමින් සිටින්නේය. ඒත් තවමත් ඒ ඉල්ලීම් ඉපදුන තැනමය. කෙටියෙන් කියූ කල තවම ඒ ඉල්ලීම් ඉෂ්ඨ කර නොමැත. ඒවා ඉෂ්ඨ කිරීමට රටක් වසන පාලකයින් හට තවමත් සිතී නොමැත. මා හට හැගෙන පරිදි නම් පාලකයින් අඳ ගොළු බිහිරි තත්වයේ සිටින බැවින් ඔවුන් හට මෙම ඉල්ලීම් ඇසේන්නේ වත් පෙනෙන්නේ වත් නැත.







                                       බොඩිමක නවාතැන් ගෙන සිටියත් බෝඩිම් කුළිය ලෙස 3000ක මුදලක් මසක් අවසානයේ ලබා දිය යුතුය. එහෙත් මහපොළ වාරිකය 1250කි. එයද ලැබෙන්නේ සිසුන්ගෙන් 100කට නොවැඩි පිරිසකටය අනෙක් අයට එය වත් නොමැතිය. රාජ්‍ය සේවයේ යෙදෙන්නන් ගේ ලමයින එය එය ලැබෙන්නේම නැත. ඔවුන්ට ලැබීමට සුදුසු කමක් වත් නොමැත. රාජ්‍ය සේවකයින් නොකා ලෙවකන බව මාද අත්දැකීමෙන් දන්නා කරුණුකි. ඔවුන්ට ඇති යමක් නොමැත ඇත්තේ නම පමණකි. කෙසේ වෙතත් 1250ක මුදලක් මසක් සඳහා තුන්වේලක් කෑම සඳහාද ප්‍රමාණවත් නොවේ. ඒ හෙයින් එහි සිටින සිසුන් හට දිනක මන්දපෝෂණය සෑදෙනවා නොඅනුමානය මක්නිසාද යත් ඔවුන් වේල් තුනම කෙසේ වෙතත් එක වේලක් වත් නොකන බැවිනි.
                                 ඔවුන් නේවාසිකාගාරයක් දැනැට අවුරුදු පහළොවක් තිස්සේ අයදින ඉල්ලීමකි. කෙසේ වෙතත් එම ඉල්ලීම ගැන පුටු රත් කරමින් සිටින පාලකින් හට ගානක් වත් නොමැත. ඔවුන් සිතනුයේ තම මඩිය තර කර ගැනීම ගැන පමණක් වීම දුකට කරුණකි. නේවාසිකාගාර ඉල්ලීම ඉටු කිරීම තුළින් ඔවුන් හට යටින් ගානක් ලැබෙනවානම් ඔවුන් අද ම නේවාසිකාගාරය සෑදීම අරඹණු ඇත.

                                                 ඊනියා විශ්වවිද්‍යාලයකට යාමට හැකියාව නොතිබුණත්, කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබාගැනීම පිණිස ලබුදූව උසස් අධ්‍යාපන ආයතනයට තම දරුවා එවූ දෙමාපියන්ද අසරණ වී ඇත ඒ මක් නිසාද යත් තම දරුවා හට මාසකට අවම වශයෙන් රුපියල් 5000ක මුදලක් වත් ලබා දිය යුතු බැවිණි. මා හට හැගෙන පරිදි ඔවුන් මුද්ල් එවනු ඇත්තේද නොකා නොබීය. එහි රජමාලිගා වල සිට පැමිණි එක් දරුවේක් හෝ නොමැත සෑවොම කුඩා රජයේ සේවකයෙකුගේ හෝ කුලී වැඩ කර දවස ගැටගසා ගන්නා දෙමාපියන්ගේ දරුවන්ය.

                                          මිනිසෙකුට හදවතක්, මනසක් ලෑබී ඇත්තේ තව කෙනෙකුගේ දුක තේරුම් ගැනීමටය එහෙත් මෙහි සිටින පාලකයින් හට හදවත සහ මොළය ලැබී ඇත්තේ තම මඩිය තර කර ගැනීම පිණිස සැලසුම් සකස් කිරීමටය. ඔවින් සිසුන්ගේ වත්, දෙමවුපියන්ගේවත් දුක නොදන්නේය. එය සැබවින්ම දුකට කරුණකි. කෙසේ වෙතත් තම ඉල්ලීම් ලැබෙන තෙක් ඔවුන් අඛණ්ඩ අරගලයේ යෙදෙනු ඇත, පාගමන් යනු ඇත, තම ඉල්ලීම් ඉටු වන තෙක් පසු නොබසිනු ඇත. ඒ ඔවුන් හට හදවතක් සහ මොළයක් ඇති බැවිනි. ඔවුන් දුක කුමක්ද යන වග හොඳින් හඳුනන බැවිනි. එබැවින් දිනක ඒ අරගලමය ජය ගනු ඇත.