Sunday, October 14, 2018

මඟ දිගට

රබර් අඩි  වල දුඹුරු මඩ  පළු
ඇලෙනවා  මම ඉන්න  බැද්දේ
කියලා කිවුවම කඳුළු පිරුනද
හීරිලා   උඹේ  පපුව      මැද්දේ

හෙට   උදේ  ඉර   ඇවිත් පායයි
මැදින්   අර  දුර   පේන  කන්දේ
මල් පිපෙයි හෙට උදේ අලුතින්
අපි  යමන්  හෙට  ඉඳන්  යුද්දේ


Friday, October 12, 2018

මඟ දිගට

ළපල්ලක් ගොඩවෙලා පොළවෙන්
අපි   වගේ   දැන්    උස්          වෙලා
සිහින   දකිනවා  මල්   පිපෙන්නට
අතු   යටින්   පැන            හිනහිලා

පොළව උහුලන මේ විසල් ගස
ආදරෙන්   අද   මත්         වෙලා
මැණිකේ හරියට උඹ වගේමයි
මගේ   උරිස්සට   බර      වෙලා


Thursday, October 11, 2018

මඟ දිගට

සීනි වැඩියෙන් දාපු කිරි ටොපි
හවස එනකොට අතේ  රන්දා
ලඟට ඇවිදින් අතේ ගුලි කර
දී ගියා මහ සෙනෙහේ  කන්දා

සීනී නැතුවම  කහට ගිල  ගිල
කිවුවේ ඒ පොඩි ලෙඩක් හන්දා
තුංග  ගිරි  හිස උඩ  තබා   අප
ආදරේ  ලණු   වලින්       බැන්ඳා


Wednesday, October 10, 2018

මඟ දිගට

පුංචි හිරිපොද හුඟක් වැටුණා
මේ  තරම්   නෑ  ඒත්    ඉස්සර
ෆර්මිදා  උඹ   හුඟක්   ඇඬුවා
බය  වෙලා  ඒ  පුංචි   වැස්සට

කුඩේ  යට   වත්  ඉන්න  බෑ    අද
වැටෙන්නේ ඇයි අකුණු මෙච්චර
ගුලි වෙලා මගේ ලඟින් හිටපන්
හිතක්  නෑ   මේ  වහින   වැස්සට