කළු පාටින්
අහස වැසූ
ඇඳිරි නීති
රට කලබල
තිබුණු කලක
මාත් සමඟ
පාසල් ගිය අබ්දුල්ලා..
එක පැන්සල
දෙකට කඩා
කොටු කොලයක්
දෙකට ඉරා
උඹ මාවද මා උඹවද
ඇඳපු හැටිය බොට මතක්ද
මාත් සමඟ අබ්දුල්ලා..
උඹ නෝම්බි අල්ලනකොට
උඹේ පංගු මා හට දී
මා කනවා හැටි බල බල
උඹ හිනැහුනා අබ්දුල්ලා..
මාත් සමඟ පන්සල් ගොස්
මල් කඩලා පැන් ඉහලා
බුදුන් පුදන්නට මට දී
ගල් කණු ලඟ වාඩි වෙලා
උඹ සිටියා අබ්දුල්ලා..
රාමසාන් සඳ බලන්න
ආපු වෙලේ උඹේ ගෙදරට
කන්න බොන්න
ඉදුම් හිටුම්
නුඹ දුන්නා අබ්දුල්ලා..
පිට්ටනියේ ක්‍රිකට් ගසා
වැටුනු වෙලේ තුවාලා වී
මට රිදිලා අඬන විටදි
උඹත් ඇඬුවා අබ්දුල්ලා..
මගේ අම්මට උණ සැදිලා
බෙහෙත් ගන්න සල්ලි නැතුව
සිටින වෙලේ
කැටේ කඩා
නුඹ දුන්නා අබ්දුල්ලා..
අවුරුදු ගානක් ගෙවිලා
උඹයි මායි
දැන් තරුණයෝ
වෙනසක් නෑ
ඒදා වගේ
අපි මිතුරෝ නේ අබ්දුල්ලා...
No comments:
Post a Comment