Friday, April 29, 2016
රතු කටුස්සෝ...
දිරා වැටුනු නාකි දෙවැට
බලා හිඳින නියගලා මල්
මලකඩ කටු කම්බි උඩින්
සිහින පොකුරු අහස සිඹි...
පදවි ඉමේ රළු අහසට
සීතල දිය වළා ඇවිත්
ගල් කොරියට එබිකම් කර
රතු අහසේ දිය සඟවයි...
තද මිටියට කරගැට කඳු
කොරියේ අහසේ රතු පැහැයට
බියවී රතු කටුස්සන්ට
හඬයි සඟවා බඩ ගින්දර...
ලකුණු පෙරටු කර පෙරහැර
දෑ කැති මිටි එකතු කරන්
හිස් ඔළුගෙඩි සිය දහසක්
රතු කටුස්සෝ ලඟ නලියයි...
ගල් කොරියේ ගල් කඳු වැටි
අපේ කඳුල ලඟ නැවතී
බිඳුව බිඳුව කඳුළු අරන්
සුළං රැළිති අඟ අමුණයි...
පාට පාට රතු කටුස්සෝ
සුළං රැළිති කඳුළු මාල
රැගෙන ඇවිත් මුතු මල් සේ
අපේ ගෙලේ වට දවටයි....
(සැ.යු. ; වැඩකරන ජනතාවගේ යැයි කියන දිනයට රතු පාටට හැරී එළි බහින කටුස්සන් වෙනුවෙන්.)
Tuesday, April 19, 2016
ලුණු ඕයේ නුඹේ සුවඳ...
අනෝතත්ත විල් දිය රැළි
නොඅඩුව දිලි දිලි විසිරි
සුදු පෙණ බිඳු මුතු පිණි සේ
ඔබේ දෑත් අඟ රැඳුනා...
ලුණු ඕයට තනිකම මැකු
අප්පච්චී නුඹේ සෙනෙහස
පාරුව මත රැඳුනු ඔබේ
හද සිතුවිලි තැනුවා...
තඹර පෙති මතින් හිනහුන
රළු වියැකුන ඔබේ සුසුම්
අපේ පැලේ දුප්පත් බව
නුඹේ දා බිඳු මැකුවා...
සෙවනැල්ලට මුවා වෙලා
රාජ භරණ හදේ දරා
නිල් දිය රැළි පොහොසත් කල
නුඹේ කඳුළු අප දුටුවා...
මහ සෑයට යන එන මඟ
නුඹේ හඬේ ඇති පැහැයට
නෙළිම් සුවඳ සිතින් දැරූ
දෙවිවරු නුඹ දෙස බැලුවා...
පාරුව ලඟ නුඹේ හුස්ම
ගැටෙන හඬට තඹර පියුම්
ඉකි බිඳ හද සුසුම් සිඹින
නිල් දිය රැළි බිඳුනා,
තඹර පියුම් හැඬුවා....
Tuesday, April 12, 2016
සතුට සාමය ඉතිරේවා...
அனைவருக்கும் ஒரு புத்தாண்டு சந்தோஷமாக சமாதான நாம்..!!
සැමට සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..!!
දේවතාවි රන් පුදසුන
සොයා ඇවිත් සතුට අරන්
සමන් පිච්ච මල් දෙවැටේ
පිච්ච පොකුරු මල් මාලා...
රන්ගෝලී මල් සැරසිලි
ගෙපැල ලඟින් හිනහෙනකොට
කුට්ටු විලක්කුවේ එළියෙන්
කෝලම් මල් එළිය වැටී...
රතු පාටින් රතු තිලකේ
පැහැයට තොල් පාට වැටී
පසලොස්වක සඳ එළියෙන්
කෝවිල ලඟ සිරි දෙවඟන...
කිරි සුවඳින් ඇල් සහලින්
පැණි රසයෙන් සිත් මත් වී
නැවුම් පැතුම් දෝරේ ගලා
ඉතිරෙන ආදර සෙනෙහස...
හිරු වඩිනා සිත් මඬලට
නවමු චිත්ත රූ පැමිණෙන
සංක්‍රාන්ති පරවි රෑන්
සුදු රැස් ගෙන වඬිනු මැනවි...
සැමට සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..!!
දේවතාවි රන් පුදසුන
සොයා ඇවිත් සතුට අරන්
සමන් පිච්ච මල් දෙවැටේ
පිච්ච පොකුරු මල් මාලා...
රන්ගෝලී මල් සැරසිලි
ගෙපැල ලඟින් හිනහෙනකොට
කුට්ටු විලක්කුවේ එළියෙන්
කෝලම් මල් එළිය වැටී...
රතු පාටින් රතු තිලකේ
පැහැයට තොල් පාට වැටී
පසලොස්වක සඳ එළියෙන්
කෝවිල ලඟ සිරි දෙවඟන...
කිරි සුවඳින් ඇල් සහලින්
පැණි රසයෙන් සිත් මත් වී
නැවුම් පැතුම් දෝරේ ගලා
ඉතිරෙන ආදර සෙනෙහස...
හිරු වඩිනා සිත් මඬලට
නවමු චිත්ත රූ පැමිණෙන
සංක්‍රාන්ති පරවි රෑන්
සුදු රැස් ගෙන වඬිනු මැනවි...
Monday, April 11, 2016
ග්‍රහ මාරුව...
පාර ලඟට හොරෙන් ඇවිත්
පාට පාට සේල් අතරේ
ලිතක් පොතක් අතේ තියන්
අවුරුද්දට දින ගැන්නා...
කොහා වෙනදා වගේ නෙමෙයි
කලින් සින්දු කියපු නිසා
අරවා මේවා ඉල්ලා ඉල්ලා
කොහාට කලියෙන් අවුරුදු දූ කුමරිය සිත් මවනවා...
ඉටි එරබඳු මල් පිපිලා
කොටුව පුරා රතට රතේ
අවුරුදු සිරි රබන් පදත්
විරිඳු කවි ලෙසින් ඇසෙනවා...
කළු ඔළුගෙඩි සයුරු තෙරේ
සිතිජ ඉමක් නොපෙනෙන සේ
අවුරුදු උණුසුම අතරින්
අහස් ඉමක ඉගිලෙනවා...
කැවුම් කොකිස් මුදල් ගිලින
පිටි තෙල් පැණි පහුරු බැඳන්
නෑගම් යන හට්ටි මුට්ටි
ලෝන් එකෙන් හිත් පිරෙනවා...
ලිතයි පොතයි දෙකම වෙන්නේ
රුපියල් පනහක් විතරයි
නැකත් පලාඵල විස්තර ලග්න පලාඵල විස්තර
ලිතයි පොතයි දෙකම අරන් ගෙදර ගිහින් බලා ගන්න...
ගිනි රස්නෙට තාර කට්ට
සෙරෙප්පු අඩියේ ඇලිලා
පිංතාලියේ වතුර හිඳිලා
දිව ගිලෙන්න ඔන්න මෙන්න...
කළු මල්ලිට මුද්ද තියලා
රෝල් කරපු ලෝන් එකෙන්
මල් ගවුමයි චීත්තයයි අළුත් හට්ටි මුට්ටි කැවිලි
අතින් කරින් එල්ලාගෙන හිතේ බරක් පුරවාගෙන...
ග්‍රහයෝ අරහේ මෙහේ කැරකිලා
අපේ හීන හොරෙන් අරන්
අවුරුදු සිරි හදේ ඇඳී
පාට පාට හීන අතරේ රටම එක සිතක් වෙනවලු...
Subscribe to:
Posts (Atom)



