Friday, April 29, 2016

රතු කටුස්සෝ...
















දිරා වැටුනු නාකි දෙවැට
බලා හිඳින නියගලා මල්
මලකඩ කටු කම්බි උඩින්
සිහින පොකුරු අහස සිඹි...

පදවි ඉමේ රළු අහසට
සීතල දිය වළා ඇවිත්
ගල් කොරියට එබිකම් කර
රතු අහසේ දිය සඟවයි...

තද මිටියට කරගැට කඳු
කොරියේ අහසේ රතු පැහැයට
බියවී රතු කටුස්සන්ට
හඬයි සඟවා බඩ ගින්දර...

ලකුණු පෙරටු කර පෙරහැර
දෑ කැති මිටි එකතු කරන්
හිස් ඔළුගෙඩි සිය දහසක්
රතු කටුස්සෝ ලඟ නලියයි...

ගල් කොරියේ ගල් කඳු වැටි
අපේ කඳුල ලඟ නැවතී
බිඳුව බිඳුව කඳුළු අරන්
සුළං රැළිති අඟ අමුණයි...

පාට පාට රතු කටුස්සෝ
සුළං රැළිති කඳුළු මාල
රැගෙන ඇවිත් මුතු මල් සේ
අපේ ගෙලේ වට දවටයි....

(සැ.යු. ; වැඩකරන ජනතාවගේ යැයි කියන දිනයට රතු පාටට හැරී එළි බහින කටුස්සන් වෙනුවෙන්.)

No comments:

Post a Comment