Thursday, March 17, 2016

ලඟ එන අවුරුද්ද...


















නීල තුරුපත් අතර
තනි වූ,
වතු සුදු මලකි හඬන
තනි වී පස් පිඩැල්ලක් මත
ලඟ එන අවුරුද්ද දැක දැක...

පස් මතින් නැගෙන ජීවය
වතු සුදු මලේ නුඹේ පෙති මත රැදෙන
කඳුළු බිඳුවකි,
කිරි කඳුළු බිඳුවේ
රැගෙන යන්න
සිනා මල් පොකුරු
මා බිළිඳු පුත් තොල් මතට...

එරබඳු මලේ
නුඹට මා හඬ ඇහෙනවද
ලඟ ලඟම එනවා අවුරුද්ද
සතුටු සිත් පුරවන්න,
අවුරුද්ද ලඟ හඬන
මා ප්‍රිය සමිඳු ලඟ...

කැවුම් කොකිසේ
මා හඬ නුඹට ඇහෙනවද
ලඟ ලඟම එනවා අවුරුද්ද
නුඹලව සොයාගෙන,
සලසන්න නුඹේ සෙනෙහස
මා ලබැඳි සිත් කැඳැල්ලට...

සුදු පාට හුණු තැවරුනු
බිත්ති කුළු මත
දැනෙයි අවුරුදු සුවඳ
පෙර සේම මා හට,
කොහෝ ගී ගයයි පෙර සේම
කණ වැකෙයි ශෝක ගී හඬ...

සුදු පරවියනි නැවත එන්න
ලඟ ලඟම එනවා අවුරුද්ද
රැගෙන ගොස් මා සතපන්න
බලාපොරොත්තුවේ සයන මත,
නැවත රැගෙන එනු පිණිස
අවුරුදු සතුට...

No comments:

Post a Comment