Tuesday, October 9, 2018

මඟ දිගට

නටු  කෙමියක  උපන්   කඳුළු
නෙළුම්  මලක  පෙති  තැනුවා
දියෙන් ගොඩට ගෙන එන්නට
මඬ පොල් ලෙලි කෙඳි තැළුවා

සුවඳ  පාට ඉස  කර  දඬු
පුතේ උඹට සවි කෙරුවා
උඹ එනකන් බලාන ඇති
අද  ඇඳකට   වී    බැරුවා


Monday, August 6, 2018

අනේ අනිච්චං

         මම දන්න කියන එකෙක් හිටියා. ඌ මාර විදියට එක්සෑම් වලට බයයි. ඒ උගේ හැටි. ඒත් මිනිහට හොඳට වැඩත් පුලුවන්. එක්සෑම් වලට තියෙන බය නිසාම, කොච්චර වැඩ පුළුවන් වුණත් මුට රිසාල්ට් ආවහම ලකුණු තිබුණේ නෑ.

කොහොම වුණත් මේ වැඩේ බලාගෙන ඉන්න බැරි තැනම, ඒකගේ අම්මා මුගේ මොරාල් හදන්න ගේමක් ගැහුවා. එක්සෑම් එක ලං වෙනකොට මූවත් ඇදගෙන ගිහින් බෝධි පූජා තිබ්බා, පිරිත් නූල් බැන්ඳා, එක්සෑම් එක ලියනකොට පාඩම් කරපුවා අමතක වෙනවා වගේ නම් බොන්න පිරිත් වතුර බෝතලේකුත් විභාගයට යනකොට යැවුවා.

ඊට පස්සේ මිනිහට එක්සෑම් එකට ඉඳගත්තාම බයක් දැනුනේ නෑ, මාර ගැම්මක් තිබුණේ. ඇයි ඉතින් ඌට හිතෙන්න ඇති අර දේවල් කරපු නිසා බය වෙන්නේ මොකටද කොහොමත් එක්සෑම් එක ගොඩ යනවා නේ කියලා. ඒ වගේම මිනිහා හොඳට පාඩම් කරලා හොඳ රිසාල්ට් එහෙමත් දැම්මා.

ඒ අම්මටත් දැන් පට්ට සතුටුයි. ඇයි ඉතින් විභාගෙට තියෙන බය නැතිවෙන්න එයා ගහපු ට්‍රික් එක නිසා, මිනිහා දැන් එක්සෑම් ගොඩ යනවනේ. කොහොම  කරලා හරි අන්තිමට සතුටනේ වැදගත් නේද?

දැන් මිනිහා හොඳ පඩියක් ගන්න, වාඩිවෙන්න ලොකු පුටුවක් තියෙන ලොකු මිනිහෙක්. උගේ කොම්පැනියේ වුණත් හොඳ තැනක් තියෙනවා, ගරුත්වයෙත් අඩුවක් තිබුණේ නෑ මම හිතන්නේ.

කොහොම වුණත් ඌ හිටියේ හෙන ඔලුවෙන්, කියන්න තියෙන දේ මූණටම කියන ගතියකුත් තිබුණා. මුගේ තිබුණ ලොකුකමටයි, ඉඳගෙන හිටපු පුටුවේ රස්නෙත් එක්කම මූ තව උඩ ගියා. කොච්චර උඩ ගියාද කියනවා නම් මුට ඕන වුණා, හැම කෙනාම මුට "සර්" කියනවා අහන්න. ඉතින් තමන්ට සර් නොකියන අයට, මූ මූණට කිවුවා මට "සර්" කියන්න කියලා. පොඩ්ඩක් එහෙම කියන එක සදාචාරසම්පන්න නම් නෑ තමයි. ඒත් මූ මූණටම කිවුවා.

දැන් මිනිහා ඉන්නේ පට්ට සතුටින්. ඇයි ගොඩක් කට්ටිය "සර්" කියලා නේ කතා කරන්නේ. කොහොම වුණත් හිතේ හංගගෙන ඉන්නේ නැතුව ඒ දේ ප්‍රසිද්ධියේම කිවුව එක හොඳයි. මොකද දැන් කාලේ ඉන්න බහුතරේකට "සර්" කියලා අහගන්නත් ඕන, ඒත් ඒක මූණටම කියන්නේත් නෑ, ඒ මදිවට තමන්‍ට ගරු නම්බු දීලා කතා නොකරන අය කොච්චර හොඳ වුණත් ඒ අය එක්ක ෆිට් එකකුත් නෑ නේ.

කෙනෙක් පොර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඌව පොර කරාට අවුලක් නෑ නේ? උටත් සතුටුයි අපිටත් සතුටයි. ඇයි ඉතින් තව එකෙක් සතුටු කරන්න පුලුවන් නම් සුපිරියි නේ.

මෙයාගේ අම්ම උපතින් බෞද්ධ, තාත්තා නම් හොඳ කතොලික. කොහොම වුණත්, කොච්චර ඉගනගත්තත්, ලොකු තනතුරු දැරුවත් මුගේ තිබුණා මහ චාටර්ම ගතිගුණයක්. ඒ කරන තරම් වැරදි වැඩ කර කර අනුන්ට හරි වැඩ කරන්න උප්දෙස් දෙන එක.

අම්මයි තාත්තයි අදහපු ආගම් දේකම හොඳ පැත්තෙන් ප්‍රතිවිරුධව තමා මූ ජීවත් වුණේ. තව එකෙක් දියුණු වෙනවා මුට බලාගෙන ඉන්න බැරි ලෙඩක් තිබුණා, ඒ අයට ඉරිසියා කරා. නයෙක් පොළගෙක් පේන්න බෑ, බල්ලෙක් පූසෙක් පේන බෑ මරන්න බැරි නම් ගලකින් හරි කෙලලා අරිනවා. මිනිහෙක්ට බනින්නේ නැතුව හිටියොත් හරියට කෑවේ නෑ වගේ.

ජේසුස් වහන්සේ සැමට ප්‍රේම කරන්න කිවුවට මුගේ ඇඟේ ප්‍රේමය කියන දේ ගෑවිලාවත් තිබුණේ නෑ කරේම හතුරුකම්. තමන්ගේ ගෑණිටවත් හරියට කතා කරේ නෑ, ගෑණි පැත්තකින් දාමුකෝ අච්චර කරපු අම්මටයි තාත්තටයි වත් මූ සැලකුවේ නෑ. බුදුරජාණන්වහන්සේ මෛත්‍රී ගැන කියලා තිබුණත්, ඒ වචනේ තේරුම වත් මූ දැනගෙන හිටියේ නෑ.
කොහොම වුණත් අනුන්ට උපදෙස් දෙන්න නම් හරි දක්ෂයා.

කොහොම වුණත් අම්මයි, තාත්තයි හිටියේ හරිම කළකිරීමෙන්. ඇයි ඉතින් කොච්චර හොඳට ඉගැන්නුවත් මුගේ ගතිගුණ අන්තිමයි නේ. වෙලාවකට කියනවා කරපු දේවල් වලින් කිසි වැඩක් වුණේ නෑ, අපි රස්තියාදු වුණා විතරයි කියලා.

ඇත්තනේ ඉතින්, තමන් බලාපොරොත්තු වුණ විදියට ප්‍රතිථලයක් ගන්න බැරි වෙනවා කියන්නේ ඒක හරියට රස්තියාදුවක්ම තමයි. දැන් ඉතින් මේ සිස්ටම් එකේ ඉන්න හැම එකාම ජේසුස් වහන්සේ ඇදහුවට, බුදුරජාණන්වහන්සේට වන්දනාමන කරාට ජීවත් වෙන්නේ ධර්මයට පිටින් නේ. ආගම් අදහන්නේ රැල්ලට. එතුමන්ලා හිටියා නම් අද හිතන්නේත් අර  අම්මයි තාත්තයි හිතපු දේම තමයි. " අපි රස්තියාදු වුණා විතරයි" කියලාම තමයි.


Saturday, November 4, 2017

උපවාසය උපහාසයක්ද?

සංහරේ...සංහරේ.. දකුණින් පෙළට..සැදෙව්! හැමෝටම පාඩම් ද 
අන්තරේ....!
"සර් අන්තරේ නෙමෙයි මන්තරේ."
එහෙම කිවුවේ පිටිපස්සෙම ඉඳන් හතරවෙනියට හිටපු පිට රතු අප්පුවා.
"තමුසේ කවුද මට වැරදි කියන්න!" සීරුවේ...න් සිටු!
අඬු පඬු ගසලා දාලා කළු, රතු, තෙල් කූඹි පිළිවෙලට පෝලිමට සීරුවෙන් පෙළ ගැසුනා. 

තමුන්නැහැලා දන්නවදදද.. අපිට තවම අපේ අයිතීන් ලැබිලා නැහැ.. අපේ ඉල්ලීම් තාම ඉල්ලපු තැන්වලමයි.. රාජධානියේ බලත්තු තාම හිටි තැන් වලමයි.. ඒත් අපි අපේ සටන නවත්තනවදදද??????
නෑ...උතුමාණනී...!
මැද හිටපු කළු බඩා හයියෙන් කෑගහලා උඩපන්නා.

අපි අපේ සටන දිනන්න ඕන නම් කරන්න ඕන මොනවදද...!
ලේ හැලුණත් පාර දිගේ දිගටම යන්න ඕන උතුමාණනී.....!
ආයෙත් කළු බඩා හයියෙන් කෑ ගහලා කිවුවේ හිතේ තිබුණ ආවේගයත් එක මිටකට අරගෙන. උතුමාණන් ගේ සිත සතුටින් පිරුණා.

දීර්ඝ කාලයක සිට මොවුන්ගේ ඉල්ලීම වුණේ සිටු පවුල් වල කූඹීන් හට සීනි ඇට කෑමට ඇති අවසරය ඉවත් කරන ලෙසයි. මොකද රාජධානියේ සීනි ඇට කෑමේ වරප්‍රසාදය හිමි වූයේ එකල සිටි අති දක්ෂයින් යැයි පිළිගත් අයට පමණයි. එහෙත් පෙර රාජ්‍ය කල පාලනයන් අවසරයක් ලබා දී තිබුණා සීනි ඇට කෑමට කැමති අය සිටී නම් ඔවුනට ඒ සඳහා අවස්ථාවක් දීමට. ඒත් නිකන් නෙමෙයි යම් දායාදයක් රාජ්‍යට ලබා දීමෙන්. ඉතින් මේ සඳහා ඉදිරිපත් වුණේ රාජ්‍යයේ සිටි සිටු පවුල් වල කූඹීන්.  රාජ්‍යයේ සිටි දක්ෂ යැයි පිළිගත් කූඹීන් මේ දේට කැමති වුණේ නෑ. ඒ නිසා ඔවුන් ආරම්භ කරා අරගලයක්, අව් වැසි නොසලකා සීත කාලයේදීත්, ග්‍රීස්ම කාලයේදිත් ඔවුන් ඉදිරියටම ඇදුනා. එහෙත් නව ආණ්ඩුව ඒකමතික තීර්ණයක සිටියා. කොහොම කොහොම හරි දින සති ගත වුණේ බලාගෙන ඉද්දිම, ඒත් අරගලයේ නම් අවසන් වෙන පාටක් තිබුණෙම නෑ.

"වාත අමාරුවත් එහෙම් පිටින්මයි. දැන් ඉස්සර වගේ අඟට හයි හත්තියක් නෑ නොවැ..උන්නැහේ.."
පහල ගුල්‍ යායේ රතු තෙල් අප්පුවා එහෙම කිවුවේ කොන්ද අල්ලගෙන. උන්නැහේගේ පුතත් සීනි ඇට කන්න වරම් ලබපු එකෙක්  නොවැ.

"මටත් එහෙම තමයි ලොකු උන්නැහේ..ඒත් ඉතින් එහෙම කියලා මේ වැඩෙන් අයින් වෙලා ඉන්න හිතක් දෙන්නේ නෑ.. පණ ගියත් මේ සටන දිනන්න එපැයි.. නැත්තනම් අපේ කොළුවගේ පණ යයි. අපි නම් දැන් නහින දෙහින කාලේ..ඒ වගේද කොලුවා.."
එහෙම කිවුවේ රතු තෙල් අප්පුවා ලඟ හිටපු තවත් කූඹි උන්නැහේ කෙනෙක්.

පැරණි ආණ්ඩුවෙන් ස්ථීර කල පනත නව ආණ්ඩුවෙන් අවලංගු කරන්න අදි මදි කරත් යම් යම් සාධාරණ මත වලට ගරු කරන්න අමතක කලේ නෑ. ඒ නිසාවෙන්ම නව ආණ්ඩුවෙන් සාධාරණ විසඳුම් රැසක්ම ලබා දීලා තිබුණා. ඒ කොහොම වුණත් අරගලයේ නම් නවතින පාටක් තිබුණේ නෑ.. කොහොම කොහොම හරි අවසාන වෙනකොට කුඹි ලමයින්ගේ දෙමව්පියොත් පාරට බැස්සා. ඒ  නොනවතින අරගලයකට.. නොනවතින උපවාසයකට..

රාජ්‍යයෙත් දේශපාලන ප්‍රශ්න වලින් නම් අඩුවක් තිබුණේ නෑ. පාට පාට වලට බෙදිලා තැන් තැන් වල තමන්ටම කියලා පක්ෂ හදාගත් අය හිටියා. කොළ, රතු, නිල්, කහ වශයෙන් බෙදිලා මරාගන්න, මඩගහගන්න අමතක කලෙත් නෑ.

"රතු තොප්පි සහෝදරයා දැන් මොකද කරන්නේ අපි, ඡන්දෙන් නම් ගොඩ යන පාටක් නෑ වගේ"
එහෙම කිවුවේ රතු පක්ෂේ සිටි එක් අපේක්ෂකයෙක්.

"ඒකට කමක් නෑ! අපි රාජ්‍ය ඇතුළේ ගින්නක් අවුළුවලා තියමු.. පෙන්නේ නැත්ද සීනි ඇට සීන් එක. ඒ ගින්නම ඇති ටිකක් නැගලා යන්න.. අපි ගින්න තියලා පාඩුවේ ඉමු.. රාජ්‍යට ඉහළින් වටෙන ළා ඉර රැස් ඒ ගින්න තවත් වැඩි කරන්නේ නැතැයි.

"හම්මේ...ලොක්කා තමයි දවසකටත් මිනිහා.. හැබැයි ඉතින් පව් වැඩ්ක් තමයි මේක..කූඹි කොලුවන්ගේ මහ එවුවොත් මාරාන්තික ගේමකට බැහැලලු.."

ඒකත් මේ ආතල් එකේම කොටසක් බන්..උන් මාරාන්තික ගේමක්ට බැස්සොත් උන් මැරෙයි..උඹට අවුලක් නෑ නේ එක නිසා පාඩුවේ බලාගෙන හිටපන්..හික් හික් හික්..බුවහ්හ්හ්හ්...

එහම කියලා දෙන්නම හයියෙන් හිනා වුණා.ඒ හිනාව ඇතුළේ තිබුණේ උපහාසයක් ද? වටේ සිටි කාටවත් ඒ බවක් නම් තේරුණේ නේ..

Sunday, October 29, 2017

ඩ්‍රැකියුලන්ගේ ආගමනයක්!

          ඇඩෝල්ෆ් හිට්ලර් නම ඇවුවහම ඇඟ හිරි වැටිලා කකුල් දෙක දිගේ සුළු දිය බේරෙන්න පටන් ගත්තේ ඒ කාලේ ජර්මනියේ හිටපු ඈයන්ට. ඔය වගේ නම ඇහුව ගමන් බිය දනවන සුළු ඩෑල් ඕන හැටියේ ලෝකේ පුරවටම හිටියා සහ ඉන්නවා. ලෝක පූජිත මිනීමරු වීරයෝ ගැන කතා කරනකොට ඉතින් කියන්න රස කතා නම් කට පුරාවටම රසට හැපෙනවා. ලෝකප්‍රකට මිනීමරු වීරයෝ ගැන ඉස්සර කතා වෙනකොට චුට්ටක් දුක හිතුණා. ඒ අපිට කොහෙද ඒ වගේ මිනීමරු වීරයෝ! කියලා හිතුන නිසා.
             යුද්ධයක් කියන්නේ එක්තරා විදියක    අරගලයක්. "අරගලයෙන් මිස කිසිම දෙයක් දින්න බෑ" කියලා එහෙන් මෙහෙන් අහලා තියෙනවා. කොහොම වුණත් අරගලයන්ගේ ප්‍රභේදයන් එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි ඒ අරගලයන් විසඳීමට බහුතර බලය යෙදවෙන්නෙත් වෙනස්ම අකාර වලින්.
ඉතින් ඔය අරගලයටම කියන තවත් එක නමක් තමයි ත්‍රස්තවාදය කියන්නේ. ඒ යම් සුළුතර පක්ෂයක් විසින් තමන්ගේ අයිතීන් වෙනුවෙන් කරන අරගලයක යම් විශාල පැතිරුණු අවස්ථාවක් හඳුන්වන නම. බහුතරයක් හිතුවත් ත්‍රස්තවාදය කියන්නේ අමුතුම ආකාරයේ මිනීමරු ව්‍යාප්තියක් කියලා එහෙත් ත්‍රස්තවාදය කියන්නේත් "අරගලයෙන් මිස ජයග්‍රහණයක් නොමැත යන" මැයෙන් යම් කොට්ඨාසයක සටන් වැදීමක දිගුවක්.
                    ඒ විශාල අරගල ව්‍යාප්තීන් විසඳීම අවසන් වන්නේ දහස් ගණනක් තම ජීවිතයෙන් වන්දි ගෙවීමෙන්. ඒ වන්දි ගෙවීමට අපි ලස්සන වචනයක් ලබාදෙනවා "යුද්දය" කියලා. ඉතින් යුද්දයෙදි නානාප්‍රකාර ආයුධ භාවිතා කිරීමෙන් සිදුකරන ඝාතනය ලොව ඇති කිසිදු ආගමක අනුමැතියක් ද? ආගමක චිරස්ථිතිය වෙනුවෙන් කතා කරන බහුතරයක් ආගම් වාදීන්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවහම පොඩ්ඩක් හිර වෙනවා. හිර වෙලා ටිකකින් කියන්නේ " රට වෙනුවෙන් නේ" කියලා.
ඉතින් ඔය සංග්‍රාම භූමිය ඇතුළේ වෙන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා ඇත්තටම දන්නේ එහි යෙදීසිටින අයම වින වෙන කවුද?
                        ඉතින් සංග්‍රාමයක අවසානයේ අතිශෝක්තියෙන් පුරසාරම් දොඩන වීරයෝ සෑහෙන්න දේ කියනවා, ලියනවා. සමහර අය යුද්දයේ අභිමානය ගැන පොත් ලියනවා, තව අය යුද්දයේ අභිමානය ගැන ලස්සන කතා කියනවා, ඒ අතරේ තවත් අය යුද්දය දඩ මීමා කරගෙන හීනියට ඡන්දයක් එහෙම ගොඩ දාගන්න දගලනවා, එහෙම ගොඩ දාගත්ත අයත් නැතුවාම නෙමෙයි ඉතින්.
                     මිනිස්සු කැමති මැරුණු බල්ලෙක් වුණත් විකුණගෙන කන්න. මතකනේ අර කතාවකුත් තියෙන්නේ මී කුණක් විකුණලා දියුණු වුණු පොරක් ගැන. කොහොම වෙතත් ඒ වගේම අය යුද්දයත් විකුණගෙන කාලා රජ වුණ අය ගැනත් අපි අහලා තියෙනවා.
යුද්දය කියන දේ ඇතුළෙත් තියෙනවා යම් නීති රාමුවක්. ඒ නීති රාමුව හදලා තියෙන්නෙත් මානව අයිතිවාසිකම් ගැන කතා කරන ලොකු ලොකු අයම තමයි. ඉතින් යුද්දයක් ආවට ගියාට කරන බෑ ඒක ඇතුළෙදි කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා යස අපූරුවට පෙන්වලා දීලා තියෙනවා.
                    කොහොම වුණත් ඒ නීති ගැන තක්කෙටම හිතනවද යන සැකේ නම් තියෙන්වා. ඇයි ඉතින් යුද්දේ ගැන දන්නේ යුද්ද කරපු අයමනේ. හැබැයි හීනියට අඩියක් එහෙම ගනහන වෙලාවක යුද්දේ කරපු ඩෑල් එකක් සෙට් වුණොත් නම් අහගන්න පුළුවන් මොකද වුණේ කියලා.
                  යුද්දේන් පස්සේ ලොකු ලොකු දේවල් වෙනවා. යුද්දේන් පස්සේ මිනිස්සු දහස් ගණනක් මැරුණටත් පස්සේ සාමය ගැන කතා කරන අයත් ඉන්නවා. ජාතියේ ඉතිහාසය ගැන මහත් අභිමානයෙන් කතා කරන අයත් ඉන්නවා. ඒ අතරේ මහ ජාතියට හානි වෙන්වා නම් මිනී මිනීමැරිමට වුවත් සූදානම් අය ඉන්නවා.
               කොහොම වුණත් අන්තිමට යුද්දයෙන් අවතැන් වූවන්, යුද්දයෙන් දූෂණය වූවන්, යුද්දයෙන් දේපල අහිමි වූවන් ගැන කතා කරන්න නම් කවුරුත් නෑ. ඔවුන් ගැන සොයා බලන්න ඔවුට ආදරය කරන්න කවුරුත් නෑ. හැබැයි නැවතත් මිනීමැරීමට, ජාතිය රැක ගැනීමට සූදානම් අය ඉන්නවා. ඒ අතරේ ඒ ලේ බීමට සූදානම් සුනඛයින්ට පෙම් කරන අයත් නැතුවාම නෙමෙයි.