Monday, August 6, 2018

අනේ අනිච්චං

         මම දන්න කියන එකෙක් හිටියා. ඌ මාර විදියට එක්සෑම් වලට බයයි. ඒ උගේ හැටි. ඒත් මිනිහට හොඳට වැඩත් පුලුවන්. එක්සෑම් වලට තියෙන බය නිසාම, කොච්චර වැඩ පුළුවන් වුණත් මුට රිසාල්ට් ආවහම ලකුණු තිබුණේ නෑ.

කොහොම වුණත් මේ වැඩේ බලාගෙන ඉන්න බැරි තැනම, ඒකගේ අම්මා මුගේ මොරාල් හදන්න ගේමක් ගැහුවා. එක්සෑම් එක ලං වෙනකොට මූවත් ඇදගෙන ගිහින් බෝධි පූජා තිබ්බා, පිරිත් නූල් බැන්ඳා, එක්සෑම් එක ලියනකොට පාඩම් කරපුවා අමතක වෙනවා වගේ නම් බොන්න පිරිත් වතුර බෝතලේකුත් විභාගයට යනකොට යැවුවා.

ඊට පස්සේ මිනිහට එක්සෑම් එකට ඉඳගත්තාම බයක් දැනුනේ නෑ, මාර ගැම්මක් තිබුණේ. ඇයි ඉතින් ඌට හිතෙන්න ඇති අර දේවල් කරපු නිසා බය වෙන්නේ මොකටද කොහොමත් එක්සෑම් එක ගොඩ යනවා නේ කියලා. ඒ වගේම මිනිහා හොඳට පාඩම් කරලා හොඳ රිසාල්ට් එහෙමත් දැම්මා.

ඒ අම්මටත් දැන් පට්ට සතුටුයි. ඇයි ඉතින් විභාගෙට තියෙන බය නැතිවෙන්න එයා ගහපු ට්‍රික් එක නිසා, මිනිහා දැන් එක්සෑම් ගොඩ යනවනේ. කොහොම  කරලා හරි අන්තිමට සතුටනේ වැදගත් නේද?

දැන් මිනිහා හොඳ පඩියක් ගන්න, වාඩිවෙන්න ලොකු පුටුවක් තියෙන ලොකු මිනිහෙක්. උගේ කොම්පැනියේ වුණත් හොඳ තැනක් තියෙනවා, ගරුත්වයෙත් අඩුවක් තිබුණේ නෑ මම හිතන්නේ.

කොහොම වුණත් ඌ හිටියේ හෙන ඔලුවෙන්, කියන්න තියෙන දේ මූණටම කියන ගතියකුත් තිබුණා. මුගේ තිබුණ ලොකුකමටයි, ඉඳගෙන හිටපු පුටුවේ රස්නෙත් එක්කම මූ තව උඩ ගියා. කොච්චර උඩ ගියාද කියනවා නම් මුට ඕන වුණා, හැම කෙනාම මුට "සර්" කියනවා අහන්න. ඉතින් තමන්ට සර් නොකියන අයට, මූ මූණට කිවුවා මට "සර්" කියන්න කියලා. පොඩ්ඩක් එහෙම කියන එක සදාචාරසම්පන්න නම් නෑ තමයි. ඒත් මූ මූණටම කිවුවා.

දැන් මිනිහා ඉන්නේ පට්ට සතුටින්. ඇයි ගොඩක් කට්ටිය "සර්" කියලා නේ කතා කරන්නේ. කොහොම වුණත් හිතේ හංගගෙන ඉන්නේ නැතුව ඒ දේ ප්‍රසිද්ධියේම කිවුව එක හොඳයි. මොකද දැන් කාලේ ඉන්න බහුතරේකට "සර්" කියලා අහගන්නත් ඕන, ඒත් ඒක මූණටම කියන්නේත් නෑ, ඒ මදිවට තමන්‍ට ගරු නම්බු දීලා කතා නොකරන අය කොච්චර හොඳ වුණත් ඒ අය එක්ක ෆිට් එකකුත් නෑ නේ.

කෙනෙක් පොර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඌව පොර කරාට අවුලක් නෑ නේ? උටත් සතුටුයි අපිටත් සතුටයි. ඇයි ඉතින් තව එකෙක් සතුටු කරන්න පුලුවන් නම් සුපිරියි නේ.

මෙයාගේ අම්ම උපතින් බෞද්ධ, තාත්තා නම් හොඳ කතොලික. කොහොම වුණත්, කොච්චර ඉගනගත්තත්, ලොකු තනතුරු දැරුවත් මුගේ තිබුණා මහ චාටර්ම ගතිගුණයක්. ඒ කරන තරම් වැරදි වැඩ කර කර අනුන්ට හරි වැඩ කරන්න උප්දෙස් දෙන එක.

අම්මයි තාත්තයි අදහපු ආගම් දේකම හොඳ පැත්තෙන් ප්‍රතිවිරුධව තමා මූ ජීවත් වුණේ. තව එකෙක් දියුණු වෙනවා මුට බලාගෙන ඉන්න බැරි ලෙඩක් තිබුණා, ඒ අයට ඉරිසියා කරා. නයෙක් පොළගෙක් පේන්න බෑ, බල්ලෙක් පූසෙක් පේන බෑ මරන්න බැරි නම් ගලකින් හරි කෙලලා අරිනවා. මිනිහෙක්ට බනින්නේ නැතුව හිටියොත් හරියට කෑවේ නෑ වගේ.

ජේසුස් වහන්සේ සැමට ප්‍රේම කරන්න කිවුවට මුගේ ඇඟේ ප්‍රේමය කියන දේ ගෑවිලාවත් තිබුණේ නෑ කරේම හතුරුකම්. තමන්ගේ ගෑණිටවත් හරියට කතා කරේ නෑ, ගෑණි පැත්තකින් දාමුකෝ අච්චර කරපු අම්මටයි තාත්තටයි වත් මූ සැලකුවේ නෑ. බුදුරජාණන්වහන්සේ මෛත්‍රී ගැන කියලා තිබුණත්, ඒ වචනේ තේරුම වත් මූ දැනගෙන හිටියේ නෑ.
කොහොම වුණත් අනුන්ට උපදෙස් දෙන්න නම් හරි දක්ෂයා.

කොහොම වුණත් අම්මයි, තාත්තයි හිටියේ හරිම කළකිරීමෙන්. ඇයි ඉතින් කොච්චර හොඳට ඉගැන්නුවත් මුගේ ගතිගුණ අන්තිමයි නේ. වෙලාවකට කියනවා කරපු දේවල් වලින් කිසි වැඩක් වුණේ නෑ, අපි රස්තියාදු වුණා විතරයි කියලා.

ඇත්තනේ ඉතින්, තමන් බලාපොරොත්තු වුණ විදියට ප්‍රතිථලයක් ගන්න බැරි වෙනවා කියන්නේ ඒක හරියට රස්තියාදුවක්ම තමයි. දැන් ඉතින් මේ සිස්ටම් එකේ ඉන්න හැම එකාම ජේසුස් වහන්සේ ඇදහුවට, බුදුරජාණන්වහන්සේට වන්දනාමන කරාට ජීවත් වෙන්නේ ධර්මයට පිටින් නේ. ආගම් අදහන්නේ රැල්ලට. එතුමන්ලා හිටියා නම් අද හිතන්නේත් අර  අම්මයි තාත්තයි හිතපු දේම තමයි. " අපි රස්තියාදු වුණා විතරයි" කියලාම තමයි.


No comments:

Post a Comment