Saturday, November 4, 2017

උපවාසය උපහාසයක්ද?

සංහරේ...සංහරේ.. දකුණින් පෙළට..සැදෙව්! හැමෝටම පාඩම් ද 
අන්තරේ....!
"සර් අන්තරේ නෙමෙයි මන්තරේ."
එහෙම කිවුවේ පිටිපස්සෙම ඉඳන් හතරවෙනියට හිටපු පිට රතු අප්පුවා.
"තමුසේ කවුද මට වැරදි කියන්න!" සීරුවේ...න් සිටු!
අඬු පඬු ගසලා දාලා කළු, රතු, තෙල් කූඹි පිළිවෙලට පෝලිමට සීරුවෙන් පෙළ ගැසුනා. 

තමුන්නැහැලා දන්නවදදද.. අපිට තවම අපේ අයිතීන් ලැබිලා නැහැ.. අපේ ඉල්ලීම් තාම ඉල්ලපු තැන්වලමයි.. රාජධානියේ බලත්තු තාම හිටි තැන් වලමයි.. ඒත් අපි අපේ සටන නවත්තනවදදද??????
නෑ...උතුමාණනී...!
මැද හිටපු කළු බඩා හයියෙන් කෑගහලා උඩපන්නා.

අපි අපේ සටන දිනන්න ඕන නම් කරන්න ඕන මොනවදද...!
ලේ හැලුණත් පාර දිගේ දිගටම යන්න ඕන උතුමාණනී.....!
ආයෙත් කළු බඩා හයියෙන් කෑ ගහලා කිවුවේ හිතේ තිබුණ ආවේගයත් එක මිටකට අරගෙන. උතුමාණන් ගේ සිත සතුටින් පිරුණා.

දීර්ඝ කාලයක සිට මොවුන්ගේ ඉල්ලීම වුණේ සිටු පවුල් වල කූඹීන් හට සීනි ඇට කෑමට ඇති අවසරය ඉවත් කරන ලෙසයි. මොකද රාජධානියේ සීනි ඇට කෑමේ වරප්‍රසාදය හිමි වූයේ එකල සිටි අති දක්ෂයින් යැයි පිළිගත් අයට පමණයි. එහෙත් පෙර රාජ්‍ය කල පාලනයන් අවසරයක් ලබා දී තිබුණා සීනි ඇට කෑමට කැමති අය සිටී නම් ඔවුනට ඒ සඳහා අවස්ථාවක් දීමට. ඒත් නිකන් නෙමෙයි යම් දායාදයක් රාජ්‍යට ලබා දීමෙන්. ඉතින් මේ සඳහා ඉදිරිපත් වුණේ රාජ්‍යයේ සිටි සිටු පවුල් වල කූඹීන්.  රාජ්‍යයේ සිටි දක්ෂ යැයි පිළිගත් කූඹීන් මේ දේට කැමති වුණේ නෑ. ඒ නිසා ඔවුන් ආරම්භ කරා අරගලයක්, අව් වැසි නොසලකා සීත කාලයේදීත්, ග්‍රීස්ම කාලයේදිත් ඔවුන් ඉදිරියටම ඇදුනා. එහෙත් නව ආණ්ඩුව ඒකමතික තීර්ණයක සිටියා. කොහොම කොහොම හරි දින සති ගත වුණේ බලාගෙන ඉද්දිම, ඒත් අරගලයේ නම් අවසන් වෙන පාටක් තිබුණෙම නෑ.

"වාත අමාරුවත් එහෙම් පිටින්මයි. දැන් ඉස්සර වගේ අඟට හයි හත්තියක් නෑ නොවැ..උන්නැහේ.."
පහල ගුල්‍ යායේ රතු තෙල් අප්පුවා එහෙම කිවුවේ කොන්ද අල්ලගෙන. උන්නැහේගේ පුතත් සීනි ඇට කන්න වරම් ලබපු එකෙක්  නොවැ.

"මටත් එහෙම තමයි ලොකු උන්නැහේ..ඒත් ඉතින් එහෙම කියලා මේ වැඩෙන් අයින් වෙලා ඉන්න හිතක් දෙන්නේ නෑ.. පණ ගියත් මේ සටන දිනන්න එපැයි.. නැත්තනම් අපේ කොළුවගේ පණ යයි. අපි නම් දැන් නහින දෙහින කාලේ..ඒ වගේද කොලුවා.."
එහෙම කිවුවේ රතු තෙල් අප්පුවා ලඟ හිටපු තවත් කූඹි උන්නැහේ කෙනෙක්.

පැරණි ආණ්ඩුවෙන් ස්ථීර කල පනත නව ආණ්ඩුවෙන් අවලංගු කරන්න අදි මදි කරත් යම් යම් සාධාරණ මත වලට ගරු කරන්න අමතක කලේ නෑ. ඒ නිසාවෙන්ම නව ආණ්ඩුවෙන් සාධාරණ විසඳුම් රැසක්ම ලබා දීලා තිබුණා. ඒ කොහොම වුණත් අරගලයේ නම් නවතින පාටක් තිබුණේ නෑ.. කොහොම කොහොම හරි අවසාන වෙනකොට කුඹි ලමයින්ගේ දෙමව්පියොත් පාරට බැස්සා. ඒ  නොනවතින අරගලයකට.. නොනවතින උපවාසයකට..

රාජ්‍යයෙත් දේශපාලන ප්‍රශ්න වලින් නම් අඩුවක් තිබුණේ නෑ. පාට පාට වලට බෙදිලා තැන් තැන් වල තමන්ටම කියලා පක්ෂ හදාගත් අය හිටියා. කොළ, රතු, නිල්, කහ වශයෙන් බෙදිලා මරාගන්න, මඩගහගන්න අමතක කලෙත් නෑ.

"රතු තොප්පි සහෝදරයා දැන් මොකද කරන්නේ අපි, ඡන්දෙන් නම් ගොඩ යන පාටක් නෑ වගේ"
එහෙම කිවුවේ රතු පක්ෂේ සිටි එක් අපේක්ෂකයෙක්.

"ඒකට කමක් නෑ! අපි රාජ්‍ය ඇතුළේ ගින්නක් අවුළුවලා තියමු.. පෙන්නේ නැත්ද සීනි ඇට සීන් එක. ඒ ගින්නම ඇති ටිකක් නැගලා යන්න.. අපි ගින්න තියලා පාඩුවේ ඉමු.. රාජ්‍යට ඉහළින් වටෙන ළා ඉර රැස් ඒ ගින්න තවත් වැඩි කරන්නේ නැතැයි.

"හම්මේ...ලොක්කා තමයි දවසකටත් මිනිහා.. හැබැයි ඉතින් පව් වැඩ්ක් තමයි මේක..කූඹි කොලුවන්ගේ මහ එවුවොත් මාරාන්තික ගේමකට බැහැලලු.."

ඒකත් මේ ආතල් එකේම කොටසක් බන්..උන් මාරාන්තික ගේමක්ට බැස්සොත් උන් මැරෙයි..උඹට අවුලක් නෑ නේ එක නිසා පාඩුවේ බලාගෙන හිටපන්..හික් හික් හික්..බුවහ්හ්හ්හ්...

එහම කියලා දෙන්නම හයියෙන් හිනා වුණා.ඒ හිනාව ඇතුළේ තිබුණේ උපහාසයක් ද? වටේ සිටි කාටවත් ඒ බවක් නම් තේරුණේ නේ..

Sunday, October 29, 2017

ඩ්‍රැකියුලන්ගේ ආගමනයක්!

          ඇඩෝල්ෆ් හිට්ලර් නම ඇවුවහම ඇඟ හිරි වැටිලා කකුල් දෙක දිගේ සුළු දිය බේරෙන්න පටන් ගත්තේ ඒ කාලේ ජර්මනියේ හිටපු ඈයන්ට. ඔය වගේ නම ඇහුව ගමන් බිය දනවන සුළු ඩෑල් ඕන හැටියේ ලෝකේ පුරවටම හිටියා සහ ඉන්නවා. ලෝක පූජිත මිනීමරු වීරයෝ ගැන කතා කරනකොට ඉතින් කියන්න රස කතා නම් කට පුරාවටම රසට හැපෙනවා. ලෝකප්‍රකට මිනීමරු වීරයෝ ගැන ඉස්සර කතා වෙනකොට චුට්ටක් දුක හිතුණා. ඒ අපිට කොහෙද ඒ වගේ මිනීමරු වීරයෝ! කියලා හිතුන නිසා.
             යුද්ධයක් කියන්නේ එක්තරා විදියක    අරගලයක්. "අරගලයෙන් මිස කිසිම දෙයක් දින්න බෑ" කියලා එහෙන් මෙහෙන් අහලා තියෙනවා. කොහොම වුණත් අරගලයන්ගේ ප්‍රභේදයන් එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි ඒ අරගලයන් විසඳීමට බහුතර බලය යෙදවෙන්නෙත් වෙනස්ම අකාර වලින්.
ඉතින් ඔය අරගලයටම කියන තවත් එක නමක් තමයි ත්‍රස්තවාදය කියන්නේ. ඒ යම් සුළුතර පක්ෂයක් විසින් තමන්ගේ අයිතීන් වෙනුවෙන් කරන අරගලයක යම් විශාල පැතිරුණු අවස්ථාවක් හඳුන්වන නම. බහුතරයක් හිතුවත් ත්‍රස්තවාදය කියන්නේ අමුතුම ආකාරයේ මිනීමරු ව්‍යාප්තියක් කියලා එහෙත් ත්‍රස්තවාදය කියන්නේත් "අරගලයෙන් මිස ජයග්‍රහණයක් නොමැත යන" මැයෙන් යම් කොට්ඨාසයක සටන් වැදීමක දිගුවක්.
                    ඒ විශාල අරගල ව්‍යාප්තීන් විසඳීම අවසන් වන්නේ දහස් ගණනක් තම ජීවිතයෙන් වන්දි ගෙවීමෙන්. ඒ වන්දි ගෙවීමට අපි ලස්සන වචනයක් ලබාදෙනවා "යුද්දය" කියලා. ඉතින් යුද්දයෙදි නානාප්‍රකාර ආයුධ භාවිතා කිරීමෙන් සිදුකරන ඝාතනය ලොව ඇති කිසිදු ආගමක අනුමැතියක් ද? ආගමක චිරස්ථිතිය වෙනුවෙන් කතා කරන බහුතරයක් ආගම් වාදීන්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවහම පොඩ්ඩක් හිර වෙනවා. හිර වෙලා ටිකකින් කියන්නේ " රට වෙනුවෙන් නේ" කියලා.
ඉතින් ඔය සංග්‍රාම භූමිය ඇතුළේ වෙන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා ඇත්තටම දන්නේ එහි යෙදීසිටින අයම වින වෙන කවුද?
                        ඉතින් සංග්‍රාමයක අවසානයේ අතිශෝක්තියෙන් පුරසාරම් දොඩන වීරයෝ සෑහෙන්න දේ කියනවා, ලියනවා. සමහර අය යුද්දයේ අභිමානය ගැන පොත් ලියනවා, තව අය යුද්දයේ අභිමානය ගැන ලස්සන කතා කියනවා, ඒ අතරේ තවත් අය යුද්දය දඩ මීමා කරගෙන හීනියට ඡන්දයක් එහෙම ගොඩ දාගන්න දගලනවා, එහෙම ගොඩ දාගත්ත අයත් නැතුවාම නෙමෙයි ඉතින්.
                     මිනිස්සු කැමති මැරුණු බල්ලෙක් වුණත් විකුණගෙන කන්න. මතකනේ අර කතාවකුත් තියෙන්නේ මී කුණක් විකුණලා දියුණු වුණු පොරක් ගැන. කොහොම වෙතත් ඒ වගේම අය යුද්දයත් විකුණගෙන කාලා රජ වුණ අය ගැනත් අපි අහලා තියෙනවා.
යුද්දය කියන දේ ඇතුළෙත් තියෙනවා යම් නීති රාමුවක්. ඒ නීති රාමුව හදලා තියෙන්නෙත් මානව අයිතිවාසිකම් ගැන කතා කරන ලොකු ලොකු අයම තමයි. ඉතින් යුද්දයක් ආවට ගියාට කරන බෑ ඒක ඇතුළෙදි කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා යස අපූරුවට පෙන්වලා දීලා තියෙනවා.
                    කොහොම වුණත් ඒ නීති ගැන තක්කෙටම හිතනවද යන සැකේ නම් තියෙන්වා. ඇයි ඉතින් යුද්දේ ගැන දන්නේ යුද්ද කරපු අයමනේ. හැබැයි හීනියට අඩියක් එහෙම ගනහන වෙලාවක යුද්දේ කරපු ඩෑල් එකක් සෙට් වුණොත් නම් අහගන්න පුළුවන් මොකද වුණේ කියලා.
                  යුද්දේන් පස්සේ ලොකු ලොකු දේවල් වෙනවා. යුද්දේන් පස්සේ මිනිස්සු දහස් ගණනක් මැරුණටත් පස්සේ සාමය ගැන කතා කරන අයත් ඉන්නවා. ජාතියේ ඉතිහාසය ගැන මහත් අභිමානයෙන් කතා කරන අයත් ඉන්නවා. ඒ අතරේ මහ ජාතියට හානි වෙන්වා නම් මිනී මිනීමැරිමට වුවත් සූදානම් අය ඉන්නවා.
               කොහොම වුණත් අන්තිමට යුද්දයෙන් අවතැන් වූවන්, යුද්දයෙන් දූෂණය වූවන්, යුද්දයෙන් දේපල අහිමි වූවන් ගැන කතා කරන්න නම් කවුරුත් නෑ. ඔවුන් ගැන සොයා බලන්න ඔවුට ආදරය කරන්න කවුරුත් නෑ. හැබැයි නැවතත් මිනීමැරීමට, ජාතිය රැක ගැනීමට සූදානම් අය ඉන්නවා. ඒ අතරේ ඒ ලේ බීමට සූදානම් සුනඛයින්ට පෙම් කරන අයත් නැතුවාම නෙමෙයි.



Thursday, October 5, 2017

දැන් පව්කාරයින්ට කෙසෙල්ගෙඩි ද?

                                 යුද්ධය යනු දෙපිරිසක් අතර සිදුවන් ගුටි බැට සහ වෙඩි හුවමාරුවකි. බල තණ්හාවේ උච්චතම අවස්ථාවේදි යුද්ධය හට ගන්නා අතර එය අතීතයේ සිටම පැවත එන්නකි. වර්තමානයේදී නවීන අවි ආයුධ භාවිතා කලද අතීතයේ යුද්ධයකදි ගල් ගෙඩියද ආයුධකි. බයිබලයේ සඳහන් වෙන්නේ පව් කාරයට ප්‍රථමයෙන් ගල් ගසන්න කියාය. එහෙත් පව් නොකල අයෙකු සෙවීමට වඩා නොමල ගෙයකින් අඹ ඇට සෙවීමට පහසු ය.
                 බල තණ්හාවේ උච්චතම අවස්ථාව විවිධ ස්වරූපයෙන් හඹා එන්නේ ගොනා පසු පස එන කරත්තය සේය. ජාති ආගම් බෙදා ගන්න බැරුව හංදි ගානේ මරා ගත් උන් පස්සෙ කිවුවේ සුළුතරේ එකා ත්‍රස්තවාදියා කියා ය. ඉන්පසු ත්‍රස්තවාදය තුරන් කර සාමයේ සුදු නෙළුම පිඹිදෙන්නට යුද්ධයේ අවි අමෝරාගෙන සටනට ගියේ රට වෙනුවෙන් ය. ඔවුන් පැවසූයේ එසේ ය.
                             සමූල ඝාතන හෙලා දකින නිදහස් සංගම් වලට වැලි ගසමින් මුහුදේ මාළුන් සිය ගණනක් එක පොදියට මැරුවේ අලුත් මාලු නම් රසයි කියමින් ය. කුකුල්ලු, ඌරෝ, එළුවෝ සංහාර පිටින් ඝාතනය කලේ දිව කට පිනවමින් ය. බුරුතු පිටින් සතුන් මැරෙනකොට හරකා මැරෙන එක වාවගන්න බැරිව හඬන උපාසකයින්ද නොසිටියේම නැත. "ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලබයි" බෞද්ධ දර්ශනයේ එසේ කියූවත් ධර්මය රැකීමට අතට ගත්තේ කුරුඳු පොලුය.සතුරාට ප්‍රේම කරන්න කියා ආදරයෙන් කියන විට මිතුරාගෙන් ගේම ඉල්ලුවේ මිතුරන්මය. යුද්ධය නම් එය ය.
                               නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි මොකද කියා තණ්හාවෙන් තමාට අවශ්‍යය නැති දේත් බදාගෙන්න හුරු වුණ සමාජයක මුදලට කෑදර වූයේ අතීතයේ සිටම ය. බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි නේ කියන අය හැල්මේ දුවන සමාජ රටාවේ අතරමං වී අන්ත අසරණ වී ඉන්නකොට සසර නම් තව සෑහෙන දිග ඇති කිවුවේ නොදන්නා කමට ය. සල්ලි වලට "අම්මා අප්පාවත් විකුණන කාලේක වෙන වෙන අය විකුණන එක නම් කජ්ජක් ද " යන දේ තේරුම් ගන්න බැරුව පව් කාරයින්ට ගල් ගසන්න හැදුවේ තවත් පව් කාරයින් විසින්‍ ය. යුද්ධය නම් එසේය.
               හෙළුවක් දැක්කාම විලි ලැජ්ජාවේ ඇඹරෙන අයියලා ඉන්න රට ලංකාව නොවීම සතුටක් ය. එයාලා හරිම සංවරය.මල් වගේම ය. ඔවුන් රහසින් වත් පව් නොකරන අය වූ අතර ධර්මයට හරි ලැදිය. සංහිදියාවට අකමැතිය. රැල්ලට හරි කැමතිය. ඉතින් ඔවුනට රැල්ලේ පාවෙන විට චූන් ය. රැල්ලේ පාවෙනා විට ඔවුනට කෙතරම් චූන් ද කියනවා නම් පව්කාරයට ගසන්නේ කෙසේල් ගෙඩි වලින්‍ ය. එහෙම අයත් බහුතරයකට වීරයන්‍ ය. යුද්ධය නම් එසේය.
                යුද්ධය කොතරම් ප්‍රචණ්ඩ ද කියනවා නම් සාමාජාවාදයේ පරම පිවිතුරු අදහස් ඔලුවේ පුරවාගෙන ඉන්න ශිෂ්‍ය දේශපාලනය තුළද ගැටුම් ඇති වූයේ බල තණ්හාවේ උච්චතම අවධියේ ය. එම නිසා ඔවුන හා  එක වහලේ යට සිටි හැම එකාටම එක වගේ සැලකූයේ පරිවාසයේ බැජ් ෆිට් එක දෙපොළින් යන්නට ය.ඉතින් යුද්ධය නම් එසේය.

Tuesday, October 3, 2017

මිතුරන්ට පෙම් කරමු












තුංග තුරු දෙස නොනිමි සුවයෙන්
ඝෝර නෙත් රැඳි මිතුරාණ
කල හි ගුණයක් නුඹෙන් නොපතමි
කිලිටු නෑ සිත ගවසාන

බුදුන් ඉපදුන සෙවණ අප වන්
විසල් තුරු යට රඳවාන
වැටුණු අව් වැසි, ‍රිකිල් පත්
දුක දරා සිටියේ නොකියාන

මුත්‍ර විෂ, නුඹේ වසුරු, මුල් මත 
වැතිරුණත් සිත් පාරාන
බලා සිටියේ නුඹේ සුවයම
ඔවුන් නුඹ සිත් නොරිදාන

පිපුණු මල් ඵල බවට හැරුණේ
කුසේ ගිණි නිව සනසාන
නීල පත් මුල්, රෝග සුවයට
පිහිට විය දුක් දුරලාන

වසා සිටි පත් සවන් යුගලය
විවර කරමින් මිතුරාණ
අසව් සිත සංවරය පුරමින්
රකිව් අප, පණ නොනසාන