Sunday, September 17, 2017

කිරි ඇතින්නිය

                මේක ටිකක් පරණ පුවතක්. මීට මාස තුනකට පමණ කාලයේදි හබරන ප්‍රදේශයේ සිදු වුණ මෙම සිදුවීම, මිනිස් අයිතිවාසිකම් පිලිබඳව කතා කරන පුද්ගලියින්ට සත්ව අයිතිවාසිකම් පිලිබඳව අමතකවී ගිය සිදුවීමකි. මිනිසුන්ට පමණද ජීවත් වීමේ අයිතිය තිබිය යුත්තේ? නැත්නම් එය ප්‍රශ්නාර්ථයකට පමණක් සීමා වුණු කාරණයක් ද?.



(පුවතක් : හබරන, බස් රථයක ගැටී මියගිය අලි පැටවකු අසල රැඳි සිටි මව් ඇතින්නට පොලිසියෙන් වෙඩි තබා මරා දමයි.)

පුවත මෙතනින් : මව්බිම පුවත්පත

බඩේ රැක වැඩු අනේ දරුවා
සඳේ කළුවරේ පාරේ උන්නා
වසා දූවිලි යකා ඇවිදින්
තලා පොඩිකර මරා දැම්මා


තනේ කිරි තව එරෙනවා ඇඟ
පුරා සෙනෙහස වැඩෙන හින්දා
සමන් ගිරි හිස වඩින දෙවියනි!
පුතා රැක දෙන් මෙන්න වැන්ඳා


හුස්ම හොයමින් රැකලා උන්නේ
දමා යන්නට නොහැකි හන්දා
වනේ මහතුන් අනේ හදවත
සිදුරු වෙන්නට මටත් විද්දා


පපුව පෑරුණේ යකඩ උණ්ඩෙට
නොවේ දරු දුක වැඩුණු හින්දා
පලා බැලුවොත් දකින්නට හැකි
මවක් උහුලන සෙනෙහේ කන්දා
 

Saturday, September 16, 2017

එන්න මේ කොණට

             අකුරු එක දෙක ගැලපලා, හොරෙන් එබිකම් කරන වචන ගොන්නක් කිටි කිටියේ සුදු පාට කොල අතරේ හිරකරලා, ජීවිතේ පුරා පොදි ගහගෙන හිටපු, හති අරින ඒ සිතුවිලි ගොන්නට සුන්දර පාටක්, අගයක් එකතු කරලා, හැදුන දරුවෙකු දෙඅත් මත නැළවෙන සතුට ට හිත ඇතුළේ කෙතරම් ආදරක් පත්තු වෙනවද?

           මේ සාහිත්‍ය මාසය. රට වටේම තියෙන පොත් ගොන්නක් එක තැනකට එකතු වෙලා ජීවිතේ ගැන කතා කරන මාසය. හිතේ හිර කරගෙන හිටපු දුක, සතුට කවි, කතන්දර වෙලා හුස්ම හිර කරවන මාසය. නානාප්‍රකාර විදියට අපූරුවට හඳුන්වා දෙන්න පුළුවන් මාසෙක එක පොතක් වත් අරගෙන කියවන්න පුළුවන් නම් කෙතරම් අපූරුද?

                          එහෙම හිතනකොට ඒක දැන් විලාසිතාවක් වෙලා එක පොදියට පොත් වලට පොරකන, අහස උසට දිවෙන පොත් මිටියක් ගෙදර ගොඩගහගන්න තරඟයක්. ගිය අවුරුද්දේ මතකද? මේ මාසේ ගත්ත පොත් ටික. අන්න උඩුබැලි අතට නිදාගෙන ඉන්නවා ලෑලි රාක්කේ මුල්ලක. හෙමින් ගිහින් කූද්දාලා ආදරයෙන් ලඟට ගත්තොත් උන් ආදරේ කරයි හදවත පුපුරන තරමටම.

                ඒ ආදරේ ලබාගන්න බැරුව කී දෙනෙක් බලාගෙන ඇත්ද මොකද ඒ ආදරේ සෑහෙන්න වටින එකක්. ඒකට මිලක් තියෙනවා, ඒ "ආදරේට" හුස්ම දුන්න උන්ගේ මහන්සියට ගෞරවයක් විදියට. ඉතින් ඒ ආදරේ හොයන එකෙක් ගේ හදවත තෙමා ගන්න පොතක් අරන් දීලා උදවුවක් කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා නේද?

               ඔය සුදු පාට පිටු අතරේ ඉපදෙන්නේ ඇස් වලින් වැටුන හදවතේ පාට. ඒක, එක එකාට එකේක විදිය. ඉතින් කැමති විදියකට ලියන්න පුළුවන්, කැමති දෙයක් ගැන. ඉතින් ඒ ලිවිල්ලට ඇයි වැට කඬුළු? අහස ගැන එකෙක් ලියනකොට, තව එකෙක්ට පුළුවන් පොළව ගැන ලියන්න. ගස් ගැන මල් ගැන අහුවෙන අහුවෙන හැම දේම ගැන හිතේ තියෙන දේ ලිවුවට කාටවත් හානියක්ද? ඒව විඳින්න කැමති හැම කෙනාම( හැබැයි සමහරු නෑ වගේ ඉන්නේ). ඒ ලියනකොට ලිංගිකත්වය, ආගම, නිදහස් දර්ශනය ගැන ලියන්න බැරිද? එහෙම එකේ දුවෙක්ට තමන්ගේ තාත්තා ගැන ලියන්න බැරිද?

                    මේක ඇතුලේ රිංගගෙන ඉන්නේ පුදුමාකාර කුහකයෝ ටිකක්. ගහක මලක් පිපුණත් උන්ට ඒකේ අඩුවක් නම් පේනවා සත්තයි. උන් පට්ට විදියට බැරෑරුම් හැබැයි ගැම්ම කියන එක බිංදුවයි. දේශපාලනේ ගැන නම් උන් තරම් විචාරකයෝ නැති තරම්, ආගම් ගැන වුණත් එහෙමයි, සමාජේ ගැන වුණත් එහෙමයි. අනුන්ගේ සතුට විඳින්න පුරුදු වෙලා ඒ සතුටට ආදරේ කරන්න ඒ අයත් ඉගනගත්තොත්! අන්න සාර්ථකත්වය.

                 ඉතින් උත්සහයක් දරමු, අනුන්ගේ සතුටට ගරු කරන ගමන්, මැරෙන්න කලින් හිතේ තියෙන දේවල් සුදු පාට පිටු අස්සේ හිර කරන්න එතකොට මේ වගේ මාසෙක තවත් එකෙක් උඹත් එක්කම හුස්මගනි.

ආ.. තව දෙයක්, පොත් ලියන උන්ගේ ජාතකේ හොයන්න එපා පොතෙන් ගන්න දෙයක් තියෙයි නම් ගන්න.ඉතින් එන්න මේ කොණට ඇවිත් ආදරෙන් කියවමු.


Friday, September 15, 2017

ඒ අනාගතය අදයි!

                     කොසොල් රජතුමා යනු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ රට පාලනය කල රජ වරයෙකි. දිනක් ඔහු නිදා සිටියෙදි සිහින දහසයක් දකිනවා. ඒ සිහින දහසයම එකිනෙකට වෙනස් වූ අතර, රජ සභාවේ සිටි දක්ෂයින්ටවත් ඒවාගේ තේරුම් රජු හට පැහැදිලි කිරීමට නොහැකි වෙනවා. ඉන්පසු රජතුමා බුදුරජාණන්වහන්සේ හමු වී මේ සිහින පිළිබඳව බුදුන් වහන්සේගෙන් විමසනවා. ඒ සිහින ගැන ඇසීමෙන් අනතුරුව බුදුරජාණන්වහන්සේ විසින් සිහින වල ඇති අරුත් පිළිබඳව මෙසේ දක්වනවා.

මේ එකොළොස්වන සිහිනයයි.

කොසොල් රජතුමා : 
 
" ස්වාමීනී මගේ මේ සිහිනයන අමුතුම ආකාරයේ එකක්. මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වමීනී ඇයි මේ වගේ සිහිනයක් මා හට පෙන්නුම් කලේ."

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලා ගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම සිහිනයේ තේරුම."

Wednesday, September 13, 2017

වැසි ලිහිණි සිනාව
















"පුරා රත් වළා පට
කළු සලුව දවටමින්
සොරා ගෙනවිත් ඉසින්නේ
වැසි ලිහිණි සිනාවකි"

ඵල පුරා මුතු විසිරෙන්න
ළපල්ලක පිණි තැවරෙන්න
පිරෙන නෙත් කැට හිනහෙන්න
මෙරුනි ඇවිදින් ඉගිලෙන්න

පාට නියෝන දිලිසේවි
උයන් සිරියෙන් බැබලේවි
තුරුලු වී තරු ,පහන් කණු යට
දැවී උණුසුමේ ගුලි වේවි

අඳුරු දූවිලි සේදේවි
කාණු පල්ලෙන් උතුරාවි
මැලි කඩා දිග හැරි උඩ පැන
වීදියේ දුක අඩුවේවි

ඇවිත් ගොඩ වී යන්න
සොරා ගත් දේ දී යන්න
අනුන්ගේ සිනාවක් හෙම
එපා නැවතත් ගෙන යන්න