Friday, September 15, 2017

ඒ අනාගතය අදයි!

                     කොසොල් රජතුමා යනු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ රට පාලනය කල රජ වරයෙකි. දිනක් ඔහු නිදා සිටියෙදි සිහින දහසයක් දකිනවා. ඒ සිහින දහසයම එකිනෙකට වෙනස් වූ අතර, රජ සභාවේ සිටි දක්ෂයින්ටවත් ඒවාගේ තේරුම් රජු හට පැහැදිලි කිරීමට නොහැකි වෙනවා. ඉන්පසු රජතුමා බුදුරජාණන්වහන්සේ හමු වී මේ සිහින පිළිබඳව බුදුන් වහන්සේගෙන් විමසනවා. ඒ සිහින ගැන ඇසීමෙන් අනතුරුව බුදුරජාණන්වහන්සේ විසින් සිහින වල ඇති අරුත් පිළිබඳව මෙසේ දක්වනවා.

මේ එකොළොස්වන සිහිනයයි.

කොසොල් රජතුමා : 
 
" ස්වාමීනී මගේ මේ සිහිනයන අමුතුම ආකාරයේ එකක්. මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වමීනී ඇයි මේ වගේ සිහිනයක් මා හට පෙන්නුම් කලේ."

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලා ගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම සිහිනයේ තේරුම."

Wednesday, September 13, 2017

වැසි ලිහිණි සිනාව
















"පුරා රත් වළා පට
කළු සලුව දවටමින්
සොරා ගෙනවිත් ඉසින්නේ
වැසි ලිහිණි සිනාවකි"

ඵල පුරා මුතු විසිරෙන්න
ළපල්ලක පිණි තැවරෙන්න
පිරෙන නෙත් කැට හිනහෙන්න
මෙරුනි ඇවිදින් ඉගිලෙන්න

පාට නියෝන දිලිසේවි
උයන් සිරියෙන් බැබලේවි
තුරුලු වී තරු ,පහන් කණු යට
දැවී උණුසුමේ ගුලි වේවි

අඳුරු දූවිලි සේදේවි
කාණු පල්ලෙන් උතුරාවි
මැලි කඩා දිග හැරි උඩ පැන
වීදියේ දුක අඩුවේවි

ඇවිත් ගොඩ වී යන්න
සොරා ගත් දේ දී යන්න
අනුන්ගේ සිනාවක් හෙම
එපා නැවතත් ගෙන යන්න

Monday, September 11, 2017

පක්ෂීන් හඳුනාගනිමු

                        ශ්‍රී ලංකාව තුළ සුන්දර පක්ෂින් වර්ග රාශියක් සිටී. ඒ අතර පිළිහුඩුවා යනු ඉතාමත් සිත්ගන්නා සුළු පක්ෂියෙකි. අඳුරු කොළ පැහැයකින් යුතු ශරීරයේ තැනින් තැන නිල් පැහැයෙන් හැඩ වී ඇති ඔවු ඇස් වලට ප්‍රිය වු එක්තරා ආකාරයක බිය දනවන සුළු පක්ෂි වර්ගයකි. මොහු කපටි පක්ෂියෙකු වන අතර, ප්‍රහාරත්මක මෙන්ම තම ආත්මාථය උදෙසා ක්‍රියාකරන පක්ෂියෙකි. ලංකාවේ සුලභව දැකිය හැකි තවත් පක්ෂියෙකු නම්, අප ව්‍යවහාරය තුළ කොකා යැයි හඳුන්න පක්ෂියා කිරි සුදු පැහැයෙන් යුක්ත වන අතර සීලවන්ත බවින් සර්ව සම්පූර්ණ වූ තවත් කපටි පක්ෂී කොට්ඨාසයකි. මොවුන්ගේ කල් ක්‍රියාව හඳුනාගත් පුද්ගලයින් ඔවුන්ගේ ස්වරූපය නියමාකාරයෙන් හඳුනන අතර, මොවුන් සැබවින්ම සුදු රෙදි පොරවාගත් කපටි පක්ෂීන් වර්ගයකි. එමෙන්ම ශ්‍රී ලංකව තුළ තවත් සුන්දර පක්ෂීන් වර්ග දෙකක් සිටී. ඒ අප කවුරුත් හඳුනන සිවුරු හොරා සහ සුදු රෙදි හොරා යනුවෙන් ප්‍රචලිත වු පක්ෂීන් දෙකොටසයි. මොවුන් බොර ආසියා රැහැන්මාරා (Brown Paradise Fly Catcher) සුදු ආසියා රැහැන්මාරා (Indian Paradise Fly Catcher) යන නම් වලින් හඳුන්වන අතර, මොවුන් නිදහසේ ජීවත් වන සුන්දර පක්ෂීන් වර්ගයක් වේ.




                  












                                 



                    
                 අන් අයෙගේ දේ ඒ අයට නොකියා හෝ, බලහත්කාරයෙන් හෝ තමාගේ කර ගන්නා තැනැත්තා හොරා යන ව්‍යවහාරයෙන් හැඳින්විය හැකිය. හොරෙකුට ඕනෑම  දෙයක් සොරකම් කිරීමට හැකිය. ඒ අතර මුදල්, දේපල, වාහන,රත්තරන්,මුතු,මැණික සහ සිත් යන දේ මෙන්ම සුදු රෙදි හා සිවුරු යන දේ ද සොරකම් කල හැක. කෙසේ වුවත් හොරකමකට අනුබල දීම හෝ හොරෙකු වෙනුවෙන් පක්ෂපාතී වීම එතරම් යහපත් කටයුත්තක් නොවන අතර හොරෙකුට දඬුවම් ලැබිය යුතුමය.  එහෙත් වර්තමාන ලංකාව තුළ ඇති විලිලැජ්ජා නැති ක්‍රියාව නම් හොරෙකුට අනුබල දී ඔවුන්ගේ ගුණ ගැයීමයි. එය ගිහි පැවදි දෙපාර්ශවය විසින්ම කරනු ලබයි. 
              අතීතයේ සිට බෞද්ධ භික්ෂුවක් යනු මොනයම් හෝ වැරදි ක්‍රියාවකට අනුබල නොදුන් අයෙකු වේ. කෙසේ වෙතත් වර්ථමානයේ එය වෙනස් වී සමහරක් භික්ෂුන් හොරුන්ට අනුබල දීමේ කටයුත්තේද යෙදී සිටින්නේ තමන් යහපත් යැයිද, සීලවන්ත යැයිද, විනය රකින අයෙකු යැයිද යන සේ පෙන්වා බෞද්ධ ජනතාවගේ සිත් සොරකමේ යෙදීමෙනි (සිත් සොරකම් කිරීමද සොරකමකි).එය සමාජයේ සිටින කීප දෙනෙකු විසින් කරනු ලබන කටයුත්තකි.කෙසේ වෙතත් සුදු රෙදි හා සිවුරු හොරුන් කවුරුන්ද යන වග තීරණය කිරීමට අපට බාරය.

Sunday, September 10, 2017

සිල්පරන් පිහිටයි !


                          ඒ නුඹලා නොදකින දුකයි.අපිට ලැබුණ ඒ ජීවිතේ කියන එක මොවුන්ට නම් තාම ලැබිලා නෑ, ඉතින් මොවුන් තාමත් ජීවිතේ කියන එක හොයනවා කවදා හරි හමුවේ යැයි තියෙන බලාපොරොත්තුවත් හිතේ තියාගෙනම. හෙට ගැන මහ ලොකුවට බලාපොරුත්තුවක් නැති වුණත් අද දවසේ ජීවිතේ ගැටගහගෙන සතුටින් නිදා ගන්න මොවුන් හීන මවනවා ඒ දවල් වරුවේ කීයක් හරි හොයාගෙන. ජීවිතේ එපා වෙලා කොච්චියට බෙල්ල තියන සමහර අය අතරේ මේ ලෑලි අටවපු මන්දිර ඇතුලේ ඉන්නවා ඇති හෙට දවස ගැන හීනයක් ඇති සුන්දර තරුණ හිත් ටිකක්. ඒ මේ හිත් ගැන. 




















වැහි බිම විසිරි පව් සේදෙන කල
හෙන පුපුරනවා හිත අස්සේ

ඉහිරෙන කඳුලක තෙත නෑ දැනුනේ
අව් සැර නොගැටෙන ඇස් අස්සේ

සිල්පර නුහුලන ලේ වැගුරුණු තැන
ගවුමක ගිලිහුණු මල් ඇත්තේ
නොවටින ඒ මල් ගැන ලියවෙන කවි
දුක් උහුලන නුවරට නැත්තේ

හූ හඬ අහගෙන උදේට ඇහැරින
කම්මැලි කුරුලනි ගේ අස්සේ
තප්පර කටු කුමකට කැරකෙන්නද?
නොදැනේ රැය දහවල මැස්සේ

කිලිටි අහස් උකුලක සුව නිදනා
කිරි බිඳු උරමින් ලැම මැද්දේ
හෙට පළඳින රන්මිණි ඔටුනක හැඩ
කතරක මිරිඟුවකිනි දැක්කේ

මාල හතක පිත්තල කැටයම් හැඩ
බර වැඩි වී මව් හිත අස්සේ
මල්වර වී ගෙදරට වුණ දා හිත
තනි වී දැවුණා ලිප අස්සේ