Tuesday, March 1, 2016
වෙරෝනිකා...
තත් ගැටෙන හඬ මට තාමත් ඇහෙනවා
නුඹේ ඇඟිළි මත ගැටුනු
ඒ සිත් රැඳි සුළඟ
මගේ සිත් අඟ හිනහෙනකොට
නුඹේ සිත් ලඟ හැඬුවා
ඒත් ඒ කඳුළු බිඳු වැටෙන හඬ
මට ඇහුනේ නෑ වෙරෝනිකා...
තත් එකින් එක කැඩෙනකොට
නුඹේ දැහැන බිඳෙනකොට
මා සමධි ගත වුනා,
ඒ නුඹේ හිතේ තිබුණ පින්වත් බව නිසා
ලෝකයා ඔබෙන් නොදුටු ඒ පිවිතුරු බව
නුඹේ හදවතින් මා දුටුවා වෙරෝනිකා...
නුඹට ගමට යන්න බැරි වෙන්න ඇති
ළිඳ ගාව ගෑණු
නුඹ දැක රහස් කොඳුරන්න ඇති
නුඹේ හිත රිදුනත්
නුඹ නෑහුනා සේ යන්න ඇති
ඒ නුඹේ හදවත උන් දැක්කේ නැති නිසා වෙරෝනිකා...
ලෝකයා නුඹට නෑ නෑ කිව්වට
නුඹට පින්වත් ආත්මයක් තිබුණා
නුඹ කලේ නුඹේ රක්ෂාව
හරියට රජයේ ලිපිකරුවෙක් වගේ
හරියට දොස්තර කෙනෙක් වගේ
හරියට ඉංජිනේරුවෙක් වගේ
ඒ බව ලෝකයා දුටුවේ නෑ වෙරෝනිකා...
ලස්සන ආදර කතා තිබුණට
රෝස්, ජැක්ට සැලකුවේ නුඹ වගේ නෙමෙයි
ජුලියට්, රෝමියෝට සැලකුවේ නුඹ වගේ නෙමෙයි
උන්ගේ ආදර කතා ලෝකයා රස විඳිනකොට
නුඹේ ආදරේ උන් කෙලසුවා
ඒ නුඹට සාපේක්ෂ රාමුවට
උන් නාපු නිසා වෙරෝනිකා...
මං ඇත්තටම නොදැන සිටියා
නුඹේ ආදරේ සැබවින්ම පිවිතුරු බව
නුබේ මිනිහට බෙහෙත් හොයන්න
නුඹේ පතිවත විකුණපු බව
ඉතින් වෙරෝනිකා සමාවෙයන් මට
නුඹ නොහැඳින ගත්තාට....
Wednesday, February 24, 2016
ලඳකගේ වෙන්වීම...
සිංහ මුව දොර
මුර මඬල රැක
සිටින ගොම්මන අඳුරු යාමෙහි
සරා පුර සඳ පෑයු සේ ඔබේ
මුවඟ සිරි එළි වැටී දිලුනෙහි...
පෑයු සඳ සිරි
සිංහ ලෙන් මත
දිදුල එළියෙන් දිව්‍ය ලෝ තල
ඔබේ රෂ්මිය වැදී මත් වී
රජුන් සැල විය ඔබ ලබන්නට...
දුහුල් සළු පිළි
රත්න මුතු වැල්
ගතෙහි පළඳා සරසවා සිරි
කැඳව අස් රිය පෙරහැරින් ඔබ
රැගෙන එන සැටි මා දසුන් විය...
මතින් රජ සැප
සිරිය දුටු ඔබේ
මුවෙහි දුක් බර සිතක් නොවුනෙනි
සිංහ මුව දොර දෙපස සිටි මා
දෙස නොදුටු සේ නෙත් පැහැරවුනි...
පොකුණු දිය මත
නෙළුම් මල් ගෙන
කරඬු සඟවා දුහුල් පටයෙන්
රජුන් පුදනට මල් නෙළන්නට
ඔබත් යනයුරු සිතින් දුටුවෙමි...
ඉහල තලයේ
සිංහ කුළු මත
ඔබේ සිතුවම් අඳී දිනයක
එවිට මා දුටු ඔබේ වත මල්
දකී අන් නෙත් සෑම වරකම...
රාජ උණුසුම
මතින් රත් සැප
විඳින ඔබේ සිත් මවයි මා සැප
කුසෙහි සිටිනා මා බිළිඳු සඳ
දිනක රජ සැප විඳි නිසකව....
නෙළුමක් යට හිඳ...
අහස් කුස සිඹ
ඒ දරිද්‍ර වූ පුසුඹ,
තුඩඟ තැවරුණු
ඒ කාෂ්ටක දුක්ඛිතය,
අහස් කුළු මත හිඳ සුසුම් හෙලයි
සමාජ පන්ති අරගලය දැක...
එක් පසක රත්න පිරි
සුන්දරත්වයේ සිහින මත පා වෙන
නෙළුම් පිපි උයන්ද,
තවත් පසක කාල වර්ණී
කටුක වූද සිහින දැක එමත පා වෙන
මඩ ගොහොරු පිරි දුක්ඛිතයකි...
ශිශ්ණ තුඩඟ රැඳි
රත්ත ලේ පැහැය
ලේ නොව දාඩිය දුක් කඳුළු බව
නොදැක නොදැක්කා සේ මිහි මත වසන
ඒ අපූරු ජන සංක්‍රමණය
ඇඟිලි ගැන හිඳි , අවසානයක් දැක හිනහෙන්නට...
කොළොම්තොට දුක්ඛිතයේ
යෝනි මත ගැටී නැති වී ගිය ඒ කන්‍යා බව
ඒ පුරුෂ ලිඟුව නොදනි
තමන් සැබවින්ම නෙළුමක්ද නැත්ද යන වග...
මඩ ගොහොරු මතින් සිට
අහස් කුස සිඹි
ඒ කොන්ක්‍රීට් සිහින නෙළුමෙහි අයිතිය
සිහින මත පාවෙන අයට පමණක් විනා
මඩ තැවරුනු දුක්ඛිතයට අයිති නොමැති බව
නොදැන හිනහෙයි වළා පට මතින් නැඟ....
Wednesday, February 3, 2016
මතකයේ හෝරාව... (යාල්පානමේ තවත් එක් සිතක්)
උණ්ඩ මත නිඳි වැරු
අඳුරු ආකාශය ගොරහැඬිය
ඉරි තැලී ගිය මඟ ලකුණු
නිදි වර්ජිතව හදෙහි කිමිදෙයි...
වතු සුදු මල්ද කටු කම්බි දෙවැටද
රතු රෝස මල් වැටී
සයනයේ පොර බැඳුනු
අතීතයේ සුවඳ හද පිරී රිදුම්දෙයි...
මහමෙරක් වූ සිතුවමක් තුල
අතරමන් කර පලා යන
සල්ලාල ඒ ප්‍රේමයේ ගිනිඳළු
හද කම්පිතව කඳුළු වගුරන සැන්දෑවකි...
ලයෙහි තුරුළුව ඔබෙන් ලත් ප්‍රේමය
ක්ෂීර පුඬු මත සිනා රැළි මවන
නොමේරූ ඒ ඔබේ වන් දෙතොල්
අතීතයේ සිතුවම් දෑසෙහි මවයි...
ඔබේ වන් වූ දෑස් මා හා කැටිව
පෙරමන් බලා හිද සුසුම් මල් සිඹින
ගොම්මනේ මඟ බලා තනි වූ
ඒ දෑස් මා ලයෙහි හොවා සිහිනයේ සැතපෙයි...
තුවක්කුව පසෙකලා නැවත එන්නට
ජය අමෝරාගත් ඒ ලයෙහි බැඳි පොරොන්දම්
සිවප්පාකම් සයංකාල්මේ සුළඟට විසිකර
සුසුම් මත තබමි ඔබේම ජීවයක් ඔබ වන් නොවන්නට...
ඡායාරූපය : නයනහාරි අබේනායකගේ "මල් තුහින නොවේ මේ යාපනේ"
Subscribe to:
Posts (Atom)



