Wednesday, October 8, 2014

සැබෑ සේනාවක ආරම්භය...

    
News
            
              හදිසි අනතුරකින් මොළය මිය ගොස් දැඩි සත්කාර ඒකකයේ සිටි දෙමළ ජාතික කාන්තාවකගේ වකුගඩු දෙක වකුගඩු රෝගයෙන් පෙළුණු සිංහල ජාතික දෙදෙනෙකුට මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දී බද්ධ කර ඇත.
             සාර්ථක ලෙස වකුගඩු බද්ධ කිරීමෙන් පසුව ඔවුන් නිරෝගී සුවයෙන් පසු වන බව මහනුවර මහ රෝහලේ වෘක්කවේදී හා වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාමික ප‍්‍රනාන්දු මහතා පැවසීය.සිංහල ජාතික රෝගීන් දෙදෙනාට බද්ධ කිරීම සඳහා වකුගඩු දෙක ලබා ගත්තේ මොණරාගල බැඳියාය ගම්මානයේ පදිංචිව සිටි ගෝවින්දසාමි විග්නේෂ්වරී නමැති තිදරු මවකගෙනි.

උපුටා ගැනීම Lanka C News (August 27, 2014)






















මනුෂ්‍යත්වයේ වචනයේ පරිසමාප්ත අර්ථය සමාජය තුල සටහන් වූ මෙම අවස්ථාව දැනට කල් ඉකුත් වූ පුවතක් වුවත් එම පුවතේ අන්තර්ගතය ශේෂ්ට මානව සමාජය තුල ප්‍රාණවත් මෙන්ම නැවුම් වූ පුවතක් වූ හෙයින් සාර්ථකත්වය සොයා යන ගමනක රැඩිකල් දුෂ්ටි පථයත් සමඟ එක් වන ඔබ සමගින් බෙදා ගැනීමට මා හට සිතුනි.

                විවිධ වූ සේනාවන්, විවිධ වූ රාවයන් සමාජය තුල එක් රැස් වෙමින් තමන්ගේ ධර්මයේ අන්තර්ගතයෙන් බැහැරව එහි දර්ශනයෙන් බැහැරව ගමන් ගනිමින් සමාජයේ ජීවත් වන තවත් ජාතියක් රටකට නොගැලපෙන බව මෙන්ම එම ජාතියේ ආගමික දර්ශනය වැරදි යයි මෙන්ම එම දර්ශනයේ සටහන් වන දෑ වැරදි යයි හංවඩු ගසමින් සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ සිත් වලට විෂ පොවමින් දේශපාලනික අතකොලු වෙමින් දේශපාලනික බළල් අතක් වෙමින් ඔවුන්ගේ සුභ සිද්ධිය පතා කොස් ඇට බලා දෙන ජාතිකානු රාගයෙන් උදම් වී සිටින ඊනියා දේශප්‍රේමීන්ට මෙවන් වූ පුවත් ඇසට කටු අනිනවා සේ වන බව නොසගැවුණු රහසකි. 

            එවන් වූ යුගයක රටක ජාතීන් කීපයක් සිටියද ඔහුන්ගේ අදහස් දැක්වීම එකම වූ රාමුවකට පමණක් කොටු වී ඇති බව  සමාජය තුල විපරම් කර බැලූ කල දක්නට ඇති දෙයකි. අපි කොළඹ, අපි නුවර, අපි රත්නපුර යැයි මුහුණු පොතේ පිටු අතර බෙරිහන් දෙන්නන් අතර අපි කිලිනොච්චි, අපි යාපනේ, අපි මඩකලපු යැයි බෙරිහන්දෙන්නෝ සිටියහොත් දකුණේ සිට බෙරිහන්දෙන්නෝ අතර එය යම්කිසි ප්‍රශ්නයකට තුඩු දෙන සිතුවිල්ලක් මෙන්ම නැවතත් වෙනත් ජාතියක නගිටීමක්දෝ යන සිත පහල වෙනවා නොඅනුමානය. එවන් වූ අයුරින් එකම අදහසකට එකම සිතුවිල්ලකට ජාතීන් සියල්ලන්ම කොටු විය යුතු යැයි සමහරුන් සිතන කලක එම සිතුවිල්ලට එකම හේතුව ලෙස අවස්ථාවාදී පාලකයින්ගේ ක්‍රියා කලාපයන් හැර ඒ අයුරුන් සිතනා සාමාන්‍ය ජනතාව වගකිය යුතු නැතැයි මා හට සිතෙයි.

               ආගමික සහජීවනයේ පහස පෙරදැරි කර ගනිමින් එකම ජාතියක දරුවන් සේ අප සිටිය යුත්තේ සැවොම අපේම ආදරණීයන් වන හෙයිනි. දිනෙන් දින විවිධ මතයන් ගොඩ නැගුනත් අප යම් දිනක අසරණ වූ කල අපිට පිහිටට ඒමට ඒ මතයන්ට නොහැකි වුවත් අපි ආදරය කල අපේම සොහොයුරන් අපිත් සමඟ අත් වැල් බැඳ ගනිනුයේ මනුෂ්‍යත්වයේ සැබෑ අරුත සමාජය තුල පුෂ්පවත් කරවමිනි.

තම ආගමේ දර්ශනයට අනුගත වෙමින් දිවි ගෙවූ කල නැවතත් කළු ජූලියක් හෝ වෙනත් ජූලියකට ආරම්භයක් නොවන බව ඔබද මා ද තේරුම් ගත යුතු කරුණකි. මේ සටහන තබන මා බුද්ධාගමේ වන හෙයින් මා හට මගේ දහම තුල මෙතෙක් දිවිය තුල තවත් අයෙකුව තලා පෙළීමට තවත් අයෙකුට සතුරු කම් කිරීමට උගන්නා නොමැත එසේ හෙයින් සැවොම සමග සමගියෙන් සිටි කල අපේම ජීවිතය මෙන්ම අපේම සමාජය සාර්ථක වෙනවා විනා වෙන යම් වූ අයහපතක් සිදු නොවන වග ඔබ මා තේරුම් ගත යුතුය. එසේ හෙයින් දැනට සමාජය තුල හට ගෙන ඇති ජාති වාදයන්ට අනුගත නොවෙමින් සැවොම සමග සැමටම ගරු කරමින් හොදින් සිටීමට අත්වැලක් දීම මේ බ්ලොග් සටහනෙන් මා බලාපොරොත්තු වන එකම කරුණ වේ.


පෙර සටහන
Destiny and Life: එකම මවකගේ කුසේ ඉපදීම..: මිනිසත්කමේ පරම චින්තනය දෝතින් බදාගත් සමාජයේ දියවී යන ඉටි රූපයකට උපමාවන මිනිසා නැවත නැවතත් මැරී ඉපදෙන්නේ විවිධ පැහැයෙන් යුතු ඉටිපන්...

No comments:

Post a Comment