Saturday, July 9, 2016

වහල් සිත හා ක්ලියෝපැට්‍රා






















වීනස් ගේ දූ රැජින
සේ දිලෙන නුඹේ රුව
රන් ඉනින් බසින නුඹ
දැල් බැඳුනු මගේ ඇස්
හිරි වැටී හිනහෙද්දි
මා නුඹට පෙම් කළා...

පිල් පිරවු හැඩ නිතඹ
සුළඟ ලඟ හිනහෙද්දි
ලැමදේ පිපි මල් සුවඳ
නාස් පුඩු නළවද්දි
ක්ලියෝපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

කළු කුමරා එළිබහින
හිරු ගිලෙන ගොම්මනේ
ගිණි කිකිළි ලිඳ ගාව
ඇඟ තෙමන කණිසමේ
ක්ලියෝපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

ඇන්තනී පිළිකන්නේ
හොරෙන් ගල් ගනිනකොට
නුඹ ඇවිත් දොර මුල්ලේ
රෝස පෙති සිඹිනකොට
ක්ලියෝපැට්‍රා නුඹට
මා හොරෙන් පෙම් කළා...

සිරියහනේ මකුළුදැල්
යටලීයේ ගෙතෙනකොට
කොහු හැළුනු කොහු මිටෙන්
මකුළු දැල් කඩනකොට
හති වැටුනු නුඹේ හුස්ම
ගඳ කිලියේ පිරෙනකොට
ක්ලියොපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

කළුවරේ හඳ එළියේ
වැට කඩුළු පනිනකොට
කටු කම්බි වැල දැවටි
මල් ගවුම ඉරෙනකොට
දුර ඇදෙන නුඹේ රුව
පිළේ හිඳ නිදි නෙතින්
දැක නුඹට පෙම් කළා...

No comments:

Post a Comment